Language Switcher

V2025

'එජාපෙ නායකයින් සමඟ පැවති සාකච්ඡා අති සාර්ථකයි'- සජිත්

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාව අතිශයින් සාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසිය.

ඒ, සාකච්ඡාව නිමාවී පිටත්ව යන අතරේ මාධ්‍යවේදීන් කළ විමසීමේ දිය.

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේදී ඊයේ (14) රාත්‍රී පැවති මෙම සාකච්ඡාව සඳහා චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාඩ් බද්දුර්දින්, මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන් සහභාගී වී ඇත. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය පලකරන මලික් සමරවික්‍රම, කබීර් හසීම්, මංගල සමරවීර, රන්ජිත් මද්දුමබණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න යන එජාප මැති අමාත්‍යවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

මෙහිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඊයේ පැවති සාකච්ඡා අවසන්වූ වහාම අජිත් පෙරේරා අමාත්‍යවරයා සිය FB පිටුවේ මෙසේ පොස්ටුවක් පළකර තිබිණ.

අගමැති රනිල් දුන් අභියෝගයක් !

ජනාධිපති අපේක්‍ෂකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඉකුත් අඟහරුවාදා (10) පැවැති සාකච්ඡාවෙන් පසු මෙලෙස සුළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර කරනු ලැබිය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව 'බීබීසි සිංහල සේවය' වාර්තා කර තිබිණ.

එජාපෙ පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපිරිස අතර එහිදී එකඟතාවක් ඇතිවී තිබේ. ඊයේ රාත්‍රී සාකච්ඡාව පැවැත්වුයේ ඒ අනුවය.

එජාපෙ තීන්දුව අඟහරුවාදා රනිල් අතට

ඊයේ රාත්‍රී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවේ දී ඇති කරගනු ලැබූ එකඟත්වයන් ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දෙන බව එම සාකච්ඡාවට එක්ව සිටි එජාපෙ පක්ෂ නායකයකු theleader.lk කළ විමසීමේ දී පැවසිය.

මෙම සාකච්ඡාවට අමාත්‍ය රාජිත සේනාරත්නට ආරාධනා කර නොතිබුන අතර ඔහු හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි පැවසේ.

සබැඳි පුවත් :

එජාප සන්ධානයේ පක්ෂවල සහය සජිත්ට !