එළැඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාව අගමැතිවරයාට ලිඛිතව තමන් දැනුම් දුන් බවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොලැබුනු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේ අද (17) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
වෙනත් පක්ෂයකට මාරුවී ජනාධිපතිවරණයට තරග කිරීමට තමන්ට කිසිදු අපේක්ෂාවක් නොමැති බවද මෙහිදි අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා අපේක්ෂාවෙන් සිටින අය සිටීනම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා ඒ ගැන සාකච්ජා කළ යුතු බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් එය අනෙක් පක්ෂ මෙන් කාමර තුළට වී තීරණ නොගන්නා බවත් පැවසීය.
ජනාධිපතිවරණය පැවැත්විමේ දින වකවානු සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට මේ වන විට ලහි ලහියේ සුදානම් බැවින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්න්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන එය ප්‍රකාශයට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය යුතු බවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මෙම සතියේදි හෝ ඉදිරි සතියේදී ජනාධිපතිවරණය පැවැත්විමේ දිනය ප්‍රකාශයට පත් කිරිමට ඉඩ ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හැකි ඉක්මනින් රැස්කොට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවත් මෙහිදී අවධාරණය කළේය.
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු කරනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් විමසු පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් ඒ පිළිබඳව විද්‍යාත්මක සොයා බැලීමක් සිදුකර නොමැති බවයි.
එමෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් ජනතාව තමන්ට ලබා දෙන තීන්දුව කුමක්වුවත් එය පිළිගැනීමට සුදානම් බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.

