රාජපක්ෂ රෙජීමය රාජ්‍ය ද්‍රෝහීන් කළ : මාධ්‍යවේදීන් අටදෙනා නිදහස් !

රාජපක්ෂ රෙජීමය රාජ්‍ය ද්‍රෝහීන් කළ : මාධ්‍යවේදීන් අටදෙනා නිදහස් !

තවදුරටත් නඩුව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් දැනුම් දීමෙන් පසු අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ – අංක 04 මගින් රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල වූ මාධ්‍යවේදීන් අට දෙනෙකු නිදහස් කරන ලදී.

ශ්‍රී ලංකා මිරර් (Sri Lanka Mirror) සහ ශ්‍රී ලංකා එක්ස් නිවුස් (Sri Lanka X News) යන ප්‍රවෘත්ති වෙබ් අඩවි වල සේවය කළ මෙම මාධ්‍යවේදීන් පිරිස 2012 ජුනි 29 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි. ඒ, එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂගේ කීර්තිනාමයට අපහාස කිරීමේ සහ රාජ්‍ය ද්‍රෝහී කටයුතු වල යෙදීමේ චෝදනා මතයි.
එම චෝදනා කිසිවක් ඔප්පු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වූ අතර, පසුව ඔවුන්ට එරෙහිව එල්ල කළ චෝදනාව වුයේ පරිගණක වල අසභ්‍ය ඡායාරූප තබාගැනීමේ චෝදනාවයි. එයද තහවුරු කිරීමට සාක්ෂි නොවූ අතර, නඩුව බහා තැබිණි.

2013 වසරේ සිට අදාළ නඩුවේ ඇප මත මුදා හැර සිටි මේ මාධ්‍යවේදීන් පිරිස ගොනු කරන ලද ඉල්ලීමකට අනුව නඩුව යළි කැඳවුණු අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් කරුණු දක්වමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ බලාපොරොත්තුවක් නැති බව අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව ඔවුන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබේ.

එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරුණු අතර, එහි සඳහන් වුයේ මෙම වෙබ් අඩවි දෙකේ මාධ්‍යවේදීන් ආචාරධාර්මික නොවන ලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කර ඇති බවත්, එමගින් රාජ්‍යයට ද්‍රෝහී වී ඇති බවත් ය.

කැළුම් ශිවන්ත, සුභාෂ් ජයවර්ධන, අජිත් සෙනෙවිරත්න, හිමාෂි කරුණාරත්න, තරිඳු රාජපක්ෂ, අසංක නිවන්ත, සිද්ධික් කාරියප්පර් සහ ශිරන්ති මානවඩු යන මාධ්‍යවේදීන් පිරිස මෙසේ නිදහස් කෙරිණි.

මෙම නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ මුතා ලයි යන දෙදෙනා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න