විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා කතා කර තමාගෙන් විමසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්යාල කල්ලේලියේදී ඊයේ (20) අනාවරණය කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන තමා සෙසු පක්ෂ සමග සාකච්ඡා කර නොතිබූ හෙයින් තමා ජනාධිපතිවරයාගේ යෝජනාවට එකඟ වූ බව කී අග්‍රාමාත්‍යවරයා ඒ අනුව ජනපති 19 වෙනිදා දහවල් කැබිනට් මණ්ඩලය කැඳ වූ බව ද සඳහන් කළේය.
පස්යාල දොන් ස්ටීවන් නව ජාතික පාසල ඉදිකිරීම සඳහා මුල්ගල කැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය. කතානායක කරු ජයසූරියගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපනය අමාත්‍යංශයේ ‘ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන යටතේ මෙම නව පාසල ඉදිකෙරෙයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.
“19 වන සංශෝධනයේ කොටසක් අප විසින් සිදුකර තිබෙනවා. ඉතිරි කාරණා ගැන ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ජනාධිපතිවරණයත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය ගැන විවිධ සංවිධාන ප්‍රශ්න මතුකිරීම පුදුමයක් නොවේ. මෙය අද රටේ ප්‍රශ්නයක්.
මේ සතියේ මුල් භාගයේදී සමහර සිවිල් සංවිධාන අලුත් යෝජනා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ 20 වන සංශෝධනය වහාම සම්මත කිරීම ගැන සාකච්ඡා ඇති වී තිබුණා. ඒ සාකච්ඡාවලට මා සහභාගී වී සිටියේ නැහැ. ඒ ගැන මටත් ආරංචි වුණා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා අද කතාකර මගෙන් ඇසුවා. අපේ පක්ෂ අතර මේ ගැන සාකච්ඡා කර තිබුණේ නැහැ. ඒනිසා එය හොඳයි මෙතන කතාකරන්න පුලුවන් කියා මා පැවැසුවා. ජනාධිපතිතුමා ඒ අනුව දහවල් කැබිනට් මණ්ඩලය කැදෙව්වා. මා ඊට පෙර අපගේ ඇමති මණ්ඩලය කැදෙව්වා. එහි විවිධ අදහස් තිබුණා. ඒ බව මම ජනාධිපතිතුමාට දැනුම්දුන්නා. එකඟතාවක් තිබේදැයි නොදන්නා බවත් මා පැවසුවා.එ
අවසානයේ ඒ ඒ පක්ෂ මේ ගැන තීරණය කිරීමට එකඟ වුණා. ඒ අනුව ඒ රැස්වීම අවසන් වුණා.
මෙහි යථාර්ථය නම් පොහොට්ටුවේ ඡන්ද නැතිව ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කරගත්තාට බැහැ. අපට 150ක මන්ත්‍රී පිරිසක් නැහැ. ඒ ගැන සාකච්ඡා කළත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හැකිවන්නේ පොහොට්ටුවේ ඡන්ද තිබෙනවා නම් පමණයි යැයි මම දැනුම්දුන්නා.
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළාදැයි බොහෝ සිවිල් සංවිධාන මට දොස් කිව්වා. කෙසේ වෙතත් මෙය විවෘතව කතාකිරීම රටේ යුතුකමක්. සෑම පක්ෂයකටම මේ ගැන තීරණයක් ගන්න වේවි. අප කාටවත් මේ ප්‍රශ්නයෙන් හැංගෙන්න බැහැ. විධායක ජනාධිපතික්‍රමය තබාගන්නවාද නැද්ද කියා සෑම පක්ෂයක්ම තීරණය කරන්නට වේවි. අවසන් තීරණය ගන්නේ ජනතාවයි”

