මෛත්‍රී, ජනාධිපති ධූරයෙන් සමුගන්නා දිනය මෙන්න !

මෛත්‍රී, ජනාධිපති ධූරයෙන් සමුගන්නා දිනය මෙන්න !

තමා ජනාධිපති ධූරයෙන් සමුගන්නේ හොරුන්ට දඬුවම් ලබාදී සහ වංචා දූෂණ සිදු කරමින් ජනතා මුදල් සොරාකන සියලූදෙනාට දඬුවම් ලබාදීමට අවශ්‍ය නව නීති රීති සියල්ල සම්පාදනය කිරීමෙන් අනතුරුව බව ජනාධිපතිවරයා කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) පස්වරුවේ හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

පොඩි මිනිසුන්ගේ දුක වේදනාව හා ඔවුන්ගේ දහඩිය සුවඳ හඳුනන නායකයෙකු මෙන්ම ඔවුන් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සුදානම් කෙනෙකු ලෙස අද තමන් මෙම වගකීම ඉටුකර තිඛෙන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

 ''මම දැන් වැඩක් දීලයි ආවේ''

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබද සොයා බැලීමේ නව ජනාධිපති කොමිසම අද රාත්‍රීයේ ගැසට් කරන බව ජනපතිවරයා එහිදී කියා සිටියේය.

''මම දැන් එන්න කළින් වැඩක් දීලයි ආවේ. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගැන ජනාධිපති කොමිසම පිහිටුවන ගැසට්පත්‍රයට අත්සන් කරලයි ආවේ.‘ යැයි ජනාධිපතිවරයා පැවසිය.

මෙම බරපතළ වංචා දූෂණ සිදුකළ අය පිළිබඳව ඉදිරියේදී රටට කරුණු අනාවරණය වනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, වැරදි කළ කිසිවෙකුට බේරි සිටීමට හැකි නොවනු ඇති බව ද කියා සිටියේය.

නව දේශපාලන ගමනක් :

තමන් මෙම වැඩකොටස ඉටුකරන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා, දූෂිත සාම්ප්‍රදායික දේශපාලන ගමන වෙනස් කර නව දේශපාලන ගමනකට රටේ ජනතාව සූදානම් විය යුතු බව ද කියා සිටියේය.

මෙලෙස වංචා දූෂණ පිලිබඳ සෙවීමට කොමිෂන් සභා පත්කරමින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය රට තුළ ක්‍රියාත්මක වන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන සමයෙන් පසුව බව සඳහන් කළ ජනාධිපතිවරයා, වංචාවට දූෂණයට එරෙහි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සමග එම වගකීම වෙනුවෙන් අද තමන් කැපවී සිටින බව ද අවධාරණය කළේය.

පසුගිය ආණ්ඩු සමයේදී රට තුළ අන්ත දූෂිත ඇමතිවරුන් සිටියත් ඔවුන්ට එරෙහිව එම නායකයින් කිසිඳු පියවරක් නොගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථීක කළමණාකරණ වගකීම බාරගන්නවා :

රටේ සහ ජනතාවගේ ජීවන වියදම් පිළිබඳව මතුව ඇති ගැටලූ විසඳමින් ඉදිරියට ගමන් කරන අතර වසර 03 ක් එක්සත් ජාතික පක්ෂයට භාරදී තිබූ රටේ ආර්ථීක කළමණාකරණ වගකීම තමා විසින් භාරගෙන අවශ්‍ය විසදුම් රටත් ජනතාවත් වෙනුවෙන් ලබා දෙන බව ද මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දේශීය කර්මාන්ත හා දේශීය කෘෂිකර්මාන්තය රකින වැඩපිළිවෙළ ද වහ වහා ආරම්භ කරන බව කියා සිටියේය.

පඩුවස්නුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කරතිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න