Language Switcher

V2025

මහේෂ් ඇමරිකානු රූකඩයක් කියමින් : විමල් රාජපක්ෂ පවුලේම රෙදි ගලවයි !

හිටපු හමුදාපති ජෙනරාල්  මහෙෂ් සේනානායක ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට නියමිත බව ප්‍රචාරය වීමත් සමග ඔහු ඇමරිකානු රූකඩයක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරන්න ගෙන ඇත.

තම ආණ්ඩු සමයේදී මහේෂ් සේනානායක  ඇමරිකාවට පළා ගිය බවත් එම ආණ්ඩුව බිඳ වැටුණු පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ හමුදාපති වූ බවත් සිහිපත් කළ වීරවංශ  ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිංහල ඡන්ද තීරු තීරුවලට කඩා දැමීමේ ඇමරිකානු වුවමනාව අනුව බවත් පවසා තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ චෝදනා එල්ල කර සිටියේ පසුගිය 22 වනදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

තවද  ඇමරිකාව විසින් සිංහල ඡන්ද කොටස්වලට කැඩීම සඳහා මහේෂ් සේනානායකට අමතරව තවත් අපේක්ෂකයින් ද යොදවා ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා  එවැනි රූකඩවලට නොරැවටී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

ගෝඨාභය ඇමරිකානු පුරවැසියකු බව විමල්ට  අමතක වෙලා !

ගෝඨාභය රාජපක්ෂ  හමුදාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇමරිකාවට ගොස් වසර 12ක් එහි ජීවත් වී ඇමරිකානු පුරවැසිභාවයත් ලබාගත් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට  අමතක වී ඇති බවක් මේ හරහා පෙන්නුම් කරයි.

ඔහු ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට යන්නේ ලංකාවේ ජනාධිපති වීමට පමණය. නැත්නම් ඔහුට ශ්‍රී ලාංකික පුරවැසියකු වීම තුට්ටුවකට වටින්නේ නැත. ගෝඨා ඇතුළු රාජපක්ෂ පරම්පරාවට පක්ෂයක් හැදූ බැසිල් රාජපක්ෂ අදටත් ඇමරිකානු පුරවැසියකු වෙයි. ඔහුත් ප්‍රසිද්ධියේ කියන්නේ කිසිසේත් ඇමරිකානු පුරවැසි භාවය තමන් ඉවත්කර නොගන්නා බවය.

ඇමරිකානු පුරවැසි බැසිල්ගේ පක්ෂයේ සිටින විමල් වීරවංශගේ ඇමරිකානු විරෝධය පුස්සක් !

ඇමරිකානු රාජ්‍ය වෙනුවෙන් ඕනෑම මොහොතක අවි දැරීමට පවා සූදානම් යනුවෙන් දිවුරුම්දී ඇති බැසිල් රාජපක්ෂ මෙහෙයවන පක්ෂයේ බලෙන් වගේ ලැගසිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැන්නවුන් මේ ප්‍රසිද්ධියේ කියන බොරු වලින් පෙරළා නිගා කරන්නේ රටේ ජනතාව වෙත නොවේද ?

ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මේ  අභූත චෝදනාව හරහා ඔහු තම දේශපාලන නරුම ස්වභාවය තහවුරු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට ගොස් එහි පුරවැසි භාවය ගත්තේ යුද්ධය අතර තුරේ විශේෂ වරප්‍රසාදයක් ගෙන වේලාසනින් හමුදා සේවයෙන් ඉවත් වෙමිනි. එහෙත් මහේෂ් සේනානායක යනු සිය රාජකාරි ජීවිතය පුරාවට යුද බිමේ සිටි එහි රාජකාරි අකුරට ඉටුකළ නිලධාරීයෙකි.

ගෝඨාගේ උදහසට ලක්වූ අයට උරුමවූ ඉරණම !

ඔහුට ඇමරිකාවට යන්න සිදුවූයේ 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් මහේෂ් සේනානායක එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත සහය ලබාදුන් බවට ගෝඨාගේ සැකයට පාත්‍රව ජීවිත තර්ජන එල්ලවු පසුබිමේය.

ඒ රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ගෝඨාභයගේ උදහසට ලක්වූ සැමට සිදුවූයේ කුමක්ද යන්න සැවොම දනියි. එහිදී සිදුවූයේ ලසන්ත වික්‍රමතුංග මෙන් ඝාතනය වීමටය. නැත්නම් පෝද්දල ජයන්ත මෙන් සුදුවෑන් පැහැරගැනීමකට ලක්ව  මරණයේ මුවදොරට ගොස් සදාකාලිකව අබ්භඝාත වීමටය. ඒත් නැතිනම් ප්‍රගීත් එක්නැළිගොඩ මෙන් මිනිය පවා නැතිව අතුරුදහන් වීමටය.

ඒ අනුව කොතරම් ඊනියා දේශප්‍රේමී සළු පැලඳ විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැනි නරුම දේශපාලනඥයින් කුමන චෝදනා කළත් තේරුමක් නැත. දිය යට ඔබන්න හදන රබර් බෝලය මෙන් සත්‍ය මතුවන්නේ ගෝඨා පාර්ශවයේ ඒ සාපරාධි අමුනුෂ්‍ය පාලන රටාව යළි යළිත් සිහිපත් කරමින්ය.