පොහොට්ටුවෙන් බෑ : ශ්‍රිලනිප මන්ත්‍රී හමුව උණුසුම් වෙයි : ශ්‍රිලනිපයෙන් අපේක්ෂකයෙක් !

පොහොට්ටුවෙන් බෑ : ශ්‍රිලනිප මන්ත්‍රී හමුව උණුසුම් වෙයි : ශ්‍රිලනිපයෙන් අපේක්ෂකයෙක් !
 එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයා පොහොට්ටු ලකුණින් තරග කරනවා නම් ඊට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර මතය වී තිබේ.
 
මේ බව අනාවරණය වන්නේ ඊයේ (27) පැවති මන්ත්‍රී කණ්ඩායම් හමුවේ තොරතුරු හරහාය.
 
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී අදාල කරුණ සාකච්ඡා කර ඇත.
 
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , තිලංග සුමතිපාල සහ රංජිත් සියඹලාපිටිය පෙනීසිට ඇත්තේ පොහොට්ටු ලකුණ හරහා හෝ පොදුජන පෙරමුණ වෙත සහය දෙමින් සන්ධාන ගතවිය යුතු බවය.
 
නමුත් වැඩි පිරිසක් ඊට විරෝධය දක්වමින් පෙන්වාදී ඇත්තේ පොහොට්ටු ලකුණ යටතේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සහය දැක්වීම ශ්‍රිලනිපයට වඩාත් අවාසි සහගත බවයි. ඒ වෙනුවට පොදු වෙනත් ලකුණක් සඳහා එකඟත්වයකට පැමිණිය යුතු බවත් නැතිනම් ශ්‍රිලනිපය තනිව හෝ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වියයුතු බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
 
ඒ අනූව ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අමතා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර ස්ථාවරය පවසා ඇති බවත් ඒ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අද (28) ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
 
කෙසේ වුවත් ඊයේ පැවති මේ හමුවේදී ජනාධිපතිවරණය සම්බන්ධව ශ්‍රිලනිප ස්ථාවරය අද සාකච්ඡාවෙන්ද පසුව එළැඹෙන සඳුදා පැවැත්වීමට නියමිත ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා හමුවේදී ගැනීමට තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න