Language Switcher

V2025

සාගල මාතරට ගොස් කුලවාදය උසිගන්වයි : මාතර ආසනය පරාජය කිරීමේ මෙහෙයුමක් ! (ඡායා)

අමාත්‍ය සාගල රත්නායක ඊයේ (11) මාතර ආසනයට ගොස් කුලවාදය උසිගැන්වීමේ නින්දිත උත්සාහයක නිරතවී ඇතැයි newstube.lk වෙත වාර්තාවේ. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කාර්ය මණ්ඩලයෙන් නෙරපා හැර සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් මෙම කුමන්ත්‍රණය සංවිධානය සිදුකර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

newstube.lk වෙත වාර්තාවන පරිදි අදාළ සිද්ධිය සැකෙවින් මෙසේය.

මෙම කුමන්ත්‍රණකරුවන් විසින් සාගල රත්නායක අමාත්‍යවරයාව මාතර නගරයේ ස්ථාන තුනකට රැගෙන ගොස් සාකච්ජා පවත්වා ඇත. එම සාකච්ජාවලට සහභාගිවූ රාජපක්ෂවරුන්ට ඥාතිත්වයක් ඇති පුද්ගලයින් කුලවාදය ඉස්මතුකරමින්, මංගල ඇමතිවරයාට ඉතාමත් නින්දිත ආකාරයෙන් බැනවදිද්දී සාගල ඇමතිවරයා සිනාසෙමින් ඔවුන්ව තවතවත් දිරිමත් කර ඇත.

මෙම රැස්වීම තුන සංවිධානය කර තිබුනේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ මාතර කාර්යාලයේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි අයකු හා ඇමතිවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ හිටපු සම්බන්ධිකරණ නිලධාරියකු විසිනි.

විශ්‍රාමික රජයේ සේවකයකු  වන පෞද්ගලික ලේකම්වරයා සංස්ථා සභාපතිකමක් ඉල්ලා එය නොලැබීම නිසා මංගල ඇමතිවරයා සමග දැඩි කෝපයකින් පසුවන්නෙකි. ඔහු සභාපති ධුරයක් ඉල්ලා කල ආයාචනය ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඔහු අසුවියද ඉක්මවූ අයකු බැවිනි.

අදාල සම්බන්ධිකරණ නිලධාරියා ද මේවනවිට මංගල ඇමතිවරයා සමග වෛරයකින් පසුවන්නෙකි. මංගල ඇමතිවරයා යටතේ පවතින ආයතනවල රැකියා සඳහා මාතර දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන් බඳවා ගැනීම් බාරව සිටි මොහුට ඒ සම්බන්ධයෙන් එල්ලවූ බරපතල චෝදනා හමුවේ මිට සති කිහිපයකට පෙර සේවයෙන් නෙරපා හැර තිබිණ. වසර ගණනාවක් පුරා මංගල ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටිමින් ඔහු සිය පවුලේ සාමාජිකයින් වෙත විවිධ වරප්‍රසාද ලබාගෙන ඇති අයකුවන අතර වයින් ස්ටෝර්ස් වැනි බලපත් හරහා ද විශාල ධනයක් රැස්කරගත් අයකු ලෙස ද සැලකේ.

පළමු රැස්වීම ක්‍රෝධාරාමය නොහොත් අශෝකාරාමයේ !

මෙම කුලවාදීන් කල්ලිය සාගල අමාත්‍යවරයාව පළමුව රැගෙනගොස් ඇත්තේ මාතර ඉසදීන් නගරයේ අශෝකාරාමය හෙවත් ක්‍රෝධාරාමය ලෙස හඳුන්වනු ලබන ජාතිවාදී මෙන්ම කුලවාදී විහාරස්ථානය වෙතය. කාලාන්තරයක් තිස්සේ මුස්ලිම්වරුන් ද පදිංචිව මෙම ප්‍රදේශයේ නම 'ඉසදීන් නගරය' වෙනුවට 'ධර්මපාල නගරය' කලයුතු යයි යෝජනා කරමින් බලපෑම් කරමින් සිටින්නේ මෙම විහාරස්ථානයේ බාරකාර හිමියන්ය.

එසේම මෙම ප්‍රදේශයේ මංමාවත් දුටුගැමුණු මාවත, ගෝඨාභය මාවත, ඩී.ඒ. රාජපක්ෂ මාවත ආදී ලෙසින් නම් කරන ලෙස නගරසභාවට බලපෑම් කරමින් සිටින්නේද මෙම විහාරස්ථානයේ බාරකාර හිමිනමයි.

සාගල රත්නායක සහභාගිවූ මෙම ආගමික වැඩසටහන තුල පවා කුලවාදයට අමතරව ජාතිවාදය ද ඉස්මතු කරමින් කතාබහක් සිදුව ඇත.

අනතුරුව මෙම කුලවාදී රැස්වීම සංවිධානය කර තිබු මංගල ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්ගේ නිවසෙත්, මාකවිට හා වල්ගම ප්‍රදේශවලත් කුලවාදී හමුවීම් තුනක් පවත්වා ඇත.

හිටපු පෞද්ගලික ලේකම් ගේ නිවසේ පැවති සාකච්ජාවේදී අදහස් දක්වා ඇති එම ලේකම්වරයා මෙවර ජනාධිපතිවරණයේදී මාතර ආසනය පරාජය කර මංගල සමරවීරට පාඩමක් ඉගැන්විය යුතු බවටත් ඒ සඳහා කුලයේ ප්‍රභූන් වහ වහා සංවිධානගත කලයුතු බවටත් යෝජනා කරද්දී සාගල ඇමතිවරයා එම යෝජනා නිහඬතත්වයෙන් යුතුව අනුමතකර තිබේ.

ගෝඨාභයගේ අඹ යාලුවෙක් !

මාතර දිස්ත්‍රීක්කය නියෝජනය කරන සාගල රත්නායක දෙනියාය ආසනයේ එජාප සංවිධායකයා වේ. ඔහු මෙසේ මාතර ආසනය තුල වරින්වර පැමිණ මෙසේ කුලවාදීන් ගොනුකරමින් සිටින්නේ ඉදිරි මහ මැතිවරණය කෙසේහෝ ජයගැනීමේ අරමුනුන් යුතුව බවට චෝදනා එල්ලවෙමින් තිබේ.

පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ සමීපතම මිතුරකු වන සාගල රත්නායක ඇමතිවරයා, පොලිසිය බාර අමාත්‍යවරයාව සිටියදී  රාජපක්ෂවරුන්ට විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂට නීතිමය රැකවරණ සැලසීමට දිගින් දිගටම මැදිහත්වූ බවට මිට ඉහතදී ජනාධිපතිවරයා ද චෝදනා කර තිබිණ. නීතිය හා සාමය අමාත්‍යංශය ඔහුගෙන් ඉවත්කිරීමට ද එය ප්‍රධාන හේතුවක්විය.

සාගල රත්නායක ඇමතිවරයා මෙසේ කුලවාදය උසුගන්වමින් සිටින්නේ, එජාපෙ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එරෙහිව රාජපක්ෂ සහෝදරයින් කුලවාදය ඉස්මතු කරමින් සිටින මොහොතකය.

8835e08a ee52 4afa 82be daef24a3c075

fe40e069 9079 461e a840 8ad9b81250ab