'මාධ්‍ය ආයතනයකට ප්‍රහාරයක්' ! - විමල් ප්‍රශ්න කළ යුතුය

'මාධ්‍ය ආයතනයකට ප්‍රහාරයක්' ! - විමල් ප්‍රශ්න කළ යුතුය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂය එරෙහි මාධ්‍ය ආයතනයකට ප්‍රහාරයක් එල්ල කර එහි වගකීම තම පිල වෙත පැටවීමේ විරුද්ධ පාක්ෂක උත්සහායක් පවතින බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමීන්ය.

ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණ මේ දිනවල සමහරවිට දිනකට කිහිප වතාවක් පවා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් රටට කියන්නේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහි විවිධ ප්‍රචාරක අනෙකුත් කුමන්ත්‍රණ විරුද්ධවාදීන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බවට මඩ වීඩියෝවක් නිර්මාණය කරන බව හා එය නිකුත් කිරීමට නියමිත බව පොදුජන මෙරමුණේ නියෝජිතයන් මීට පෙර කීවේ විරුද්ධවාදීන්ගේ අනාගත ක්‍රියාකාරකම් පිළිබඳ අනාවැකි පළකරමින්ය.

මේ අනාවැකි පිළිබඳ නිවැරදි හා නිශ්චිත තොරතුරු ඇත්නම් ප්‍රවෘත්ති සාකච්ඡා තියනවාට අමතරව පොදුජන පෙරමුණේ නියෝජිතයන් පොලීසියට මැතිවරණ කොමිෂන් සභාවට හෝ නිරීක්ෂණ සංවිධානවලට පැමිණිලි කල යුතුය.

විමල් වීරවංශගේ මේ චෝදනාව නම් මඩ වීඩියෝවට වඩා බරපතල චෝදනාවකි. ප්‍රහාරයක් එල්ල කරනවායැයි කියන්නේ මාධ්‍ය ආයතනයකටය. මාධ්‍ය ආයතනයකට හෝ වෙන කිසිම තැනකට ප්‍රහාරයක් එල්ල කිරීම වූ කලී අපරාධයකි.

මේ අපරාධය ගැන විමල් වීරවංශ මන්ත්‍රීවරයා දන්නා තොරතුරු වහාම පොලීසියට ඉදිරිපත් කළ යුතුය. පොලීසියද වහාම ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුය. එවැනි අපරාධයක් සිදුවීමට නියමිත නම් එය වළක්වාගත යුතුය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළේ ප්‍රහාරයක් ගැන කියා රට ගිනි තැබීම නම් ඒ ගැනද ඔහුට එරෙහිව පොලීසිය පියවරක් ගත යුතුය.

මෙහිදී ලියුම්කරුට මතක් වන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ සිරස මාධ්‍ය ආයතනයේ දෙපානම මැදිරි සංකීර්ණයට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ලකළ අවස්ථාවේ කී දෙයකි. 

ගෝඨාභය රාජපක්ෂ එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් කීවේ එම ප්‍රහාරය සිරස විසින් සිරසට එල්ලකරගත් ප්‍රහාරයක් බවය.

සිරස මාධ්‍ය ආයතනයට ප්‍රහාරය එල්ලකිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ලවෙද්දීත් එයින් බේරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ එම දන්නා දේ ගැන පරීක්ෂණයක් සිදුකළේ නම් නැත. ඒ ඇයි?  කරුණු තේරුම්ගත හැකි අයට එය අමුතුවෙන් කිය යුතු නැත.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ වත්මන් පිටපත ගෝඨාභය රාජපක්ෂගේ එදා පිටපතේම දිගුවක්ද? 

(අනිද්දා -2019 නොවැම්බර් 13)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න