Language Switcher

V2025

වසර 10ක් රට පාලනය කළ මහින්දගේ ගමටත් වතුර දෙන්නේ අපේ ආණ්ඩුව - මාතර රැළියේදී ඇමති මංගල කියයි

මෑත ඉතිහාසයේ මෙරට ආරම්භ කළ විශාලතම ජල ව්‍යාපෘතිය මාතරට ලැබී ඇති බවත් මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවන අදියර යටතේ මාතර, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, අතුරලියට පමණක් නොව වසර 10ක් රට පාලනය කළ මහින්දගේ ගමවූ බෙලිඅත්ත ගමටත් වතුර දෙන්නේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ 07 වනදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති ජන රැලිය අමතමින්ය.

වත්මන් ආණ්ඩුව බලය ලැබූ විගස ලෝකය දිනීම සඳහා කටයුතු කළ බවත්, ඒ යටතේ මෙරටට අහිමිව ගොස් තිබූ යුරෝපා GSP + සහනය ලබාගැනීමට සහ යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට හැකිවූ බවද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළ අතර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් හමුවේ ඒ වන විටත් මෙරටට එරෙහිව පැනවීමට නියමිතව තිබූ සම්බන්ධක වලක්වා ගැනීමට හැකිවූ බවද පැවසීය.

එසේම ලෝකය දිනීමෙන් පසුව ආණ්ඩුව රට දිනවීමට කටයුතු කළ බවත් ඒ අනුව වසර 60කට අධික කාලයකට පසුව මෙරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කරවීමට හැකිවූ බවත් මේ වසරේ ණය සහ පොළී වාරික ගෙවීම වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 1.7ක් ගෙවීමට ඇති පසුබිමක පවා ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මේ ආණ්ඩුව වෙනස් කළ යුතුයි නම් 2020 අගෝස්තු 17 වනදායින් පසුව එළඹෙන මහමැතිවරණයේදී ජනතාවට තීන්දුවක් ගත හැකි බවත් එසේම තවදුරටත් වසර 5ක් මේ ආණ්ඩුවම තබාගන්නවාද යන තීන්දුවද එම මැතිවරණයේදී ජනතාවට ගත හැකි බවද පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එළඹෙන 10 වනදා පැවැත්වෙනේ ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බවත් එදිනට ගතයුතුව තිබෙන්නේ පවතින ආණ්ඩුවේ ශක්තිය, ප්‍රතිපාදන ගමට ගෙන්වා ගැනීම වෙනුවෙන් වන තීන්දුවක් බවය.

ලෝකය දිනවා රට දිනවූ එක්සත් ජාතික පක්ෂයට ගම දිනවීම සඳහා ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට එළඹෙන පෙබරවාරි 10 වනදා ජන්දපොලට ගොස් එක්සත් ජාතික පක්ෂය දිනවීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

(ජායාරුප - රොෂාන් චතුරංග)