Language Switcher

V2025

ගෝඨාභය ජනාධිපති විජයබාහු රජුගේ නැවත ඉපදීමක් බව සොයාගෙන !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා විජයබාහුගේ නැවත ඉපදීම බව දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

ආරාධිත ලේඛකයකු විසින් ලියා ඇති එම ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව පහත දැක්වෙයි.

මීට වසර 900කට පමණ ඉහත කාලයේ දී දකුණු ආසියාවේ නාවික බලසේනාවන්ගෙන් සන්නද්ධ වූ දක්ෂිණ භාරතයේ මහා චෝල අධිරාජ්‍යයේ බලය සුන්නද්දූලි කරමින් සිංහල ජාතියට අපේ මාතෘ භූමියේ අයිතිය ලබා දුන් මහා හෙළ රණවිරුවා මහා විජයබාහු රජතුමා ය.

මේ යුගයේදී දෙමළ ඊළාම් මිත්‍යාවෙන් අන්ධ වූ පිරිබාහරන් ප්‍රමුඛ දමිළ ත්‍රස්තවාදයෙන් අපගේ සිරිලක් මාතාව නිදහස් කර ගැනීමට සිය දිවි පරදුවට තබා, දැයේ අභිමානය ලොව හමුවේ තබන්නට මූලිකත්වය දැරූ විරුවා අද රටේ ජනාධිපතිවරයාය.

රණවිරුවන් පෙළගස්වන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය. වසර 30කට අධික කාලයක් තිස්සේ පැවති ඒ මහා භීෂණකාරී යුද්ධය වසර දෙකහමාරකින් නිමා කොට යළි මේ රට නිදහස් කරගත්තේ ගෝඨාභය රාජපක්ෂ නම් වූ මහා රණවිරුවා ප්‍රමුඛ අපගේ රණවිරුවන්ගේ දක්ෂතාවය නිසා බව ඉතා ප්‍රකටය.

එදා රුහුණේ උපන් කීර්ති කුමාරයා මහ විජයබාහු නමින් රජව චෝල බලය සුන්නද්දූලි කළේය. ඒ මහා රණවිරුවාණන්ගේ යළි උපත ලෙසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රණවිරුවාණන් සැලකිය හැකි විශ්වාසනීය කාරණා බොහෝය. මහා විජයබාහු රජතුමා සිය දේශය යළි සිංහල ජනතාවට දිනා දීමෙන් පසු සිය අභිෂේකය පැවැත්වූයේ ද අනුරාධපුරයේ බව ඓතිහාසිකව ලියැවී ඇති කරුණකි. මහාවංසය අනුව රුහුණේ ගොඩවාය වැනි වරාය ඔස්සේ විදෙස් රටවල් සමඟ වෙළඳ සබඳතා සහ වෙනත් මිත්‍ර සබඳතා පවත්වාගෙන යෑමට මහ විජයබාහු රජු එදා ක්‍රියා කළේය. ඒ වන විට ද මාතොට (මහා තිත්ථ) වරාය චෝලයන් අතට පත්වී තිබුණි. ඒ නිසා රුහුණේ පැවති වරාය නව විදේශීය සබඳතා පවත්වාගෙන යෑමට ද, අග්නිදිග ආසියාව දෙසට යොමුවීමට ද, ඉතා ප්‍රබල සාධකයක් ‍වන්නට ඇත.

මහා විජයබාහු රජු චෝලයන් පරාජය කිරීමෙන් පසු, චෝල රජු සිංහලයෝ බලවත්හු යැයි සිතා නැවත ලංකාවට චෝල සේනාව නොඑවීමට සිතූ බව මහා වංසයේ දෙවැනි කොටසේ සඳහන්ව ඇත්තේ මෙසේය. “මෙසේ ලත් ජය ඇත්තා වූ මහත් නුවණැති ඒ මහ විජයබාහු නම් රජතෙමේ එකල්හි සිය අණින් බෙර හැසිරවී සොලී රජතෙම ස්වකීය සේනාවගේ විනාශය අසා සිංහලයෝ බලවත් යැයි සිතා නැවත සොලී සේනාව මෙහි නොඑවීය.“ (මහාවංසය 57 වන පරිච්ඡේදය ගාථා 57 - 58) සහ (මහ විජයබාහු රජතුමා - පුරාණ ජාතියේ පියා - හෙළ දැයේ ජාතික විමුක්ති සටනේ මහා රණවිරුවා - සිරිසමන් විජේතුංග පිටු අංක 10 - 11 දයාවංශ ජයකොඩි සහ සමාගම)ග්‍රන්ථවල ද මේ පිළිබඳ සඳහන් වෙයි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙන්ම දක්ෂිණ භාරතයේ මදුරාසි විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාස මහාචාර්ය නීලඛණ්ඨ ශාස්ත්‍රී මහතා මෙසේ සඳහන් කර ඇත. “විජයබාහු රජතුමා නොවී නම් අද එකදු සිංහලයෙක්වත් ඉතිරි නොවන්නේය. ශාංකාවක් ඡායා මාත්‍රායක් වත් නොමැතිව ඔහු සිංහලයන් මුදාගත් වීරයා ලෙසත්, සිංහල ජාතියේ නිර්මාතෘවරයා ලෙසත් එකහෙළාම පිළිගත හැක. (මහ විජයබාහු - ඉහත සඳහන් ග්‍රන්ථය පි. 15)

ඉතිහාසය නැවත නැවත වක්‍රාකාරව ගමන් කරන්නේය. මේ රටට දුර්භාග්‍යය පැමිණෙන සෑම යුගයකම ඒ සඳහා ඒ ඒ යුගයන් විසින් වීරවරයන් බිහි කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. දුටුගැමුණු මහරජතුමා, වළගම්බා, ධාතුසේන, මහා විජයබාහු සහ මහා පරාක්‍රමබාහු රජවරු මේ දේශය යළිත් රටේ ජනතාවට ලබා දුන් බව සත්‍යයකි.

පසුගිය ජනාධිපතිවරණයෙන් සිදු වූයේ ද එවැනි විජයග්‍රහණයකි. සිංහලයන් එක්සත් වී ලබන ලද ඒ ජයග්‍රහණය සමඟම අන්‍ය ජාතීන්ට ද මේ රටේ පුරවැසියන් ලෙසින් සංවර්ධනයේ නාමයෙන් ජාති‍, ආගම් භේද ඉවතලා එක්සත්ව කටයුතු කළ හැකි යුගයක් උදා වී ඇති බව නොරහසකි. එදා මහා විජයබාහු රජු ද සිය අභිෂේකය අනුරාධපුරයේ දී සිදු කළා සේ, ගෝඨාභය ජනාධිපතිවරයා අනුරාධපුරයේ රුවන්මැලි මහා සෑය අසළ, දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාව ඉදිරිපිට දී සිය තනතුර සඳහා දිවුරුම් දීම ඓතිහාසික සංසිද්ධියක් ලෙස සැලකිය හැක.

මහා විජයබාහු රජු ද පොළොන්නරුවේ අභිෂේකය නොපවත්වා අනුරාධපුරයේ දී අභිෂේකය පවත්වා ඇත. එදා විජයබාහු‍ රජ ඉදිකරවන ලද රජ මාළිගය අනුරාධපුරයේ අද ද දැක ගත හැක. මහා විජයබාහු රජු පත්වන කාලය වන විට ලංකාවේ සොළී පාලනය වසර 77ක් පුරා පැවතුණි. බොහෝ බලගතු හමුදාවකට එරෙහිව කුමන්ත්‍රණ, විරුද්ධවාදී කැරළි ගැසීම් මධ්‍යයේ ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානය කිසිසේත් දුබල කර නොගෙන, රුහුණේ පාලකයා වී වසර 15ට පසු වයස අවුරුදු 33 වැනි වියේ දී විජයබාහු ජයග්‍රාහීව අනුරාධපුරයට පිවිසියේය. සොළීන්ගෙන් එල්ල විය හැකි දෙවන ආක්‍රමණයත් නොතකා සිටිය නොහැකි වූයෙන් වෙරළ ආරක්ෂාව තරකිරීමට එතුමා වහා පියවර ගත්තේය. මහා විජයබාහු රජුගේ අභිෂේක උත්සවය සඳහා අනුරාධපුර නගරයේ රජ මාළිගය ඉදිකර වූයේ පෙර තිබූ ගොඩනැඟිලිවලින් රැස්කර ගත් ද්‍රව්‍ය යොදා වන අතර එය විශාල නොවූ මාළිගයකි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන - නිකොලොස් - සංක්ෂිප්ත ලංකා ඉතිහාසය සිංහල පරිවර්තනය - මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි පි. 267 - 268 - 2004), මහ විජයබාහු - ජාතියේ පියා හෙළ දැයේ ජාතික විමුක්ති සටනේ මහ රණවිරුවා - සිරිසමන් විජේතුංග පි. 40) මේ කරුණු විමසා බලන විට මෙරට හත්වන ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහා විජයබාහු රජුගේ නැවත උපත බව සඳහන් කරන්නේ ඉතා ගෞරවයෙනි.

සිරිසමන් විජේතුංග