සංඝ සමාජයේ ඓතිහාසික වගකීම ඉටුකරන්නට 20වෙනි දා කොළඹට එන්නැයි මහාචාර්ය අගලකඩ සිරිසුමන හාමුදුරුවන් සටහනක් තබා තිබෙනු දුටුවෙමි. මෙය දුටු මම පුදුමයට පත් වීමි. මුන්නාන්සේ මටත් උපාධි සහතිකයක් දුන් කොළඹ සරසවියේ ම ශාස්ත්‍ර ගවේෂකයෙකි. එහි සිංහලාංශයේ ඉහළ ම තනතුර දක්වා ගිය ගුරුවරයෙකි.
මුන්නාන්සේ සමග මගේ කිසි ම අරෝවක් නැත. සරසවි ජීවිතයෙහි ද අද දක්වාද කිසිදු දවසක හිත් රිදීමක් සිදුව නැති අතර දුටු තැන ඒ සුහදත්වය ද ඇත. ඒ කිසිවක් මෙතෙන්ට අදාළ නැත. එහෙයින් සද්භාවයෙන් යුතු ව ම වචන ටිකක් ලියමි.

දේශබන්ධු වෙනුවෙන් කඩේ යෑම
මුන්නාන්සේගේ මේ හැසිරීම උගත් යතිවරයෙකුට කිසි සේත් ම නොගැළපේ. එපමණක් නොව එය සමාජය විසකුරු අන්තයකට ඇදගෙන යෑමට තුඩු දෙන භාවිතයකි. මීට පෙර අවස්ථාවක දේශබන්දු නමැති පොලිස් තක්කඩියා වෙනුවෙන් වීදි බැසගත් පාදඩ චීවරධාරීන් සමග එකපතේ වළඳනු දුටුවෙමි. එපමණක් නොව මට මතක ඇති ඉතිහාසයෙහි තීරණාත්මක අවස්ථාවල ජනතාවට හතුරු දේශපාලන කල්ලිවලට ගැම්ම දීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටිනු දැකීම මට නම් විළිලැජ්ජාවකි. මොකට මහාචාර්යකම් දුන්නා දැයි හිතෙන තරමට එය ජුගුප්සා ජනක ය.ප්‍රජාපීඩකයන්ට එරෙහි ව මිනිස් නිදහස වෙනුවෙන් හැට පනින තෙක්මත් මේ දැනුත් පෑන හසුරුවන අප වැන්නන්ට අගලකඩ ඇතුළු භික්ෂු කල්ලි ද ජනහතුරන් සේ පෙනීම අපේ දෝසයක් නොවන බව ද ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සිතට ගත යුතු ය.
භික්ෂුවකගේ ස්වරූපය ගෑවිලාවත් නැති අර මිහින්තලේ වනචාරී සුනඛයා, පොලිස් නිලධාරීන්ට, රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පහර දෙන අර මඩකලපුවේ උම්මන්තක කහකඩයා, දේපළ සහ මිනිස් සංහාරයන්ට ත්‍රාඩ කල්ලි උසි ගැන්වූ ගෝඨාගේ ඇම්බැට්ටයා ලෙස කවුරුත් දන්නා නානසාර නමැති පාදඩයා යනාදී ශ්‍රමණ වේසධාරීන් මොහොතකට අමතක කරමු.

පිළිගත් විශ්ව විද්‍යාලයක ඉහළ තනතුරු හෙබවූ අගලකඩ පන්නයේ භික්ෂූන් සමාජයට කරන වින්නැහිය මොන තරම් බරපතළ ද.?
ඇතුළෙහි ලැග සිටි සර්පයා
අගලකඩ තරම් බරපතළ නැතත් අර පාතේගම ඥානිස්සර භික්ෂුව ගැන කිව යුත්තේත් ඒ ටික මය. මුන්නාන්සේ මා අඳුනන්නේ සාමනේර අවධියේ පටන් ය. එවක නම් විනීත, සංවර බුද්ධ පුත්‍රයකු ගේ ලක්ෂණ පෙනිණ. එහෙත් සර්පයා ඇතුළේ ලැග සිට ඇති බව පෙනේ.
ඒ උන්නාන්සේගේ වත්මන් හැසිරීම අනුව මට පෙනෙන දේය. ඒ ගැන කෙළින් කීමට අපගේ හිතවත්කම් ද අදාළ නැත. විසකුරු සමාජ දේශපාලන බලවේගවලට ගැම්ම දීම අතින් මුන්නාන්සේ ද අගලකඩ පන්නයේ ය.මොකට මහාචාර්යකම් ලැබුවා දැයි දුක හිතෙන තරමට අවිචාරවත් ප්‍රකාශ මුන්නාන්සේ ද කරති. ශාස්ත්‍රීය පොතකට රාජ්‍ය සම්මාන ද ලැබූ යතිවරයෙකු හැටියට තමන් මේ කරන්නේ කුමක් දැයි තමාගෙන් ම විමසා බැලීම ඥානිස්සර උන්නාන්සේ ද අප්‍රමාද ව කළ යුතුය.
චීවරධාරියෝ ජප කරන මන්තරය
අද කොළඹට වඩිනවා යැයි කියන මුන්නාන්සේලාත් ඊට උඩගෙඩි දෙන ගිහි සමාජයේ මෝඩ අනුගාමිකයෝත් ජප කරන මන්තරය කුමක් ද?
1.සංඝ සමාජයට තර්ජනයක් තිබේ
2.සංඝ සමාජය එයින් ගළවාගත යුතුය.
3.රට, ජාතිය, ආගම අනතුරේ ය; ඒ විපතින් ගළවා ගත යුතුය.
සංඝ සමාජයට ඇති සැබෑ තර්ජනය කුමක් ද?
ඇත්තටම බැලුවොත් සංඝ සමාජය ගිහිසමාජයටත් වඩා පිරිහී ඇති බව ළදරුවෙකුට වුව ද වැටහේ.
ඔවුන් බුද්ධ පුත්‍රයන් නොව සමාජයේ ඉදිරි ගමනට හතුරුකම් කරන දුෂ්ට කල්ලියක් බව ඕනැවටත් වඩා ඔප්පු වී හමාරය.මා එසේ කියන්නේ සමාජය ඉදිරියට විත් ඬෙගා නටන භික්ෂූ කල්ලිවල ස්වරූපය ගැන සිතීමෙනි.එසේ නොකරන උගත්,විනයගරුක භික්ෂූ පරම්පරාවක් සිටින බවත් ඔවුන්ට හඬක් නොමැති බවත් ලියා තබමි.
සංඝ සමාජයට ඇති ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ එළියෙන් නොව ඇතුළෙන් ම ය.

ජනහතුරු චින්තනය
පිටකයේ ඇති කරුණු ටිකවත් අවබෝධ කර නොගත්, වෝහාර දේශනා වෙනස් විය යුතු යැයි මාර්ටින් වික්‍රමසිංහ බඳු ප්‍රාඥයන් කී දේවල සුළඟක්වත් නොවැදුණු, කුල භේදය ඇතුළුව සමාජ අගතීන් කරපින්නාගත්, තවර ආණ්ඩුවක් හෝ ගෙනෙන සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගෝණිබිල්ලන් මවා ඒවාට කෙළවා දමන ඉරණම, කරුමය ගැන මුග්ධ අදහස්වලින් මිනිස් හදවත් කිළිටි කරන ජනහතුරු චින්තනය ඇත්තේ එම සංස්ථාව ඇතුළේ ම මිස එළියේ නොවේ.
ජාඩියට මුඩිය සේ අවස්ථාවා දී දේශපාලකයන් සමග එකට දීග කන්නේ ද මෙම ජනහතුරු චින්තනය යි. ඒ නිසා මුලින්ම වටහාගත යුත්තේ සංඝ සමාජයට ලොකු ම තර්ජනය එල්ල වී ඇත්තේ සංඝ සමාජයෙන් ම බව ය. එළියෙන් අමුතු හතුරන් වුවමනා නැත.
තමන්ට ද කෙළවීමට ඉඩ ඇතැයි යන බිය
අද වීදි බසින කහකඩ නඩය සමග සසඳන විට සිහිපත් වන භික්ෂූ පරම්පරාවක් ඇත. එම පරම්පරාව නීතිය දෙකට නැමීමට හෝ සමාජය පසුගාමිත්වය කරා ඇදගෙන යෑමට කටයුතු කර නොමැත.
වැලිවිට සරණංකර, උඩකැන්දවෙල සරණංකර, මහාචාර්ය වල්පොළ රාහුල, කොටහේනේ ප්‍රඥාකීර්ති යනාදී වශයෙන් ප්‍රබුද්ධ භික්ෂූ පරම්පරාවක නාමාවලිය සිහිපත් වෙයි. භික්ෂුවගේ ඓතිහාසික කාර්යභාරය කුමක් ද යන්න සංවාදගත කිරීම සඳහා ඔවුන් ගෙනගිය සමාජ අරගලය නැවත කියවිය යුතුය.
වැලිවිට සරණංකර හිමි
නීතිය ඉදිරියේ කවුරුත් සමානය. එය පූජක ලෝගුවට යැයි වෙනසක් නොමැත. නීතිය කඩකිරීම නිසා එකෙක් දෙන්නෙක් ඇතුළට යෑම සංඝ සමාජයට ඇති තර්ජනය ලෙස භික්ෂූන් පිරිසක් සිතනවා නම් එතැන හොරයක් ඇත. එනම් මේ විදියට ගියොත් තමන්ට ද කෙළවීමට ඉඩ ඇතැයි යන බියයි.
අසද්දෘෂ්ටීන් වැපිරීම මය අරමුණ
රට, ජාතිය,ආගම අනතුරේ සහ ඩයස්පෝරා භීතිය ගැන වැඩිපුර කිව යුතු නැත.එය මිනිසුන් ගොනාට ඇන්දවීම සඳහා දේශපාලකයන් හා පූජකයන් ජපකරන කපටි මන්තරයක් පමණි.
"භික්ෂුව
සැතකින් පහර ලද්දකු මෙන්
හිස ගිනිගත්තෙකු මෙන්
අසද්දෘෂ්ටීන් බැහැර කරනු පිණිස
සිහියෙන් විසිය යුතු ය."
සූත්‍ර පිටකයෙහි එසේ සඳහන් වෙයි. අද කොළඹට එන නඩය අසද්දෘෂ්ටීන් වැපිරීම ම අරමුණ කරගෙන ඇති බව පෙනේ.
සුපසන් භික්ෂුව ගේ ස්වභාවය
"ඔහු මේ ශරීරයම විවේකයෙන් ජනිත ප්‍රීති සැපයෙන් තෙමයි.හාත්පසින් තෙමයි.මුළුමනින් පුරවයි.පතුරවයි. ඔහු ගේ මුළුමහත් සිරුරෙහි විවේකය, ප්‍රීති සැපය නොපැතුරුණු තැනක් නොවෙයි. දක්ෂ කපුවෙක් හො කපු ගෝලයෙක් රන් තලියෙහි නා නා සුණු දමා වතුර ඉස ඉස අනා ගුළි ගැසීමෙන් ඒ නා නා සුණු තෙත්ව තෙතමනය පැතිරී අභ්‍යන්තර,බාහිර වශයෙන් තෙතමනය පැතිරීමෙන් නොඉහිරී තිබෙන්නාක් මෙන් භික්ෂුවගේ මුළුමහත් සිරුරෙහි විවේක ජනිත ප්‍රීති සැපය නොපැතුරුණු තැනක් නොමැත."
සුපසන් භික්ෂුවගේ ස්වභාවය පිළිබඳ මහ තණ්හා සංඛ්‍ය සූත්‍රයෙහි එසේ සඳහන් වෙයි.
මේ බැබළීම ඇති වන්නට නම්...
බුදු දහමෙහි බැබළීම පිළිබඳ මහාධම්ම සමුදාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.
"ධර්ම සම්භාරය වත්මනෙහිත් අනාගතයෙහිත් මහණ බමුණන්ගේ පරප්‍රවාද බිඳ දමා දීප්තිමත් වෙයි.බැබළෙයි.දලිසෙයි."
මේ බැබළීම ඇති වන්නට නම් ජනතාව නොමග යැවීමට වීදිබසින සිවුරුලා ගත් බමුණු හැතිකරය ගේ මතවාද පරාජය කළ යුතු ම ය.
"චරථ භික්ඛවේ චාරිකං
බහුජන හිතා ය
බහුජන සුඛා ය."

තිඹිරියාගම බණ්ඩාර

