උදයංග ගේන්නේ කටඋත්තරයක් ගෙන නිදහස් කරන්න ද ?

උදයංග ගේන්නේ කටඋත්තරයක් ගෙන නිදහස් කරන්න ද ?

පසුගිය ඉරිදා (පෙබරවාරි 04) උදෑසන ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්වු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව රැගෙන එම සඳහා රජයේ නිලධාරීන් හතර දෙනෙකු ඊයේ (07) රාත්‍රී ඩුබායි බලා පිටත්ව ගොස්ව තිබේ.

අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර, විදේශ කටයුතු අමාත්‍යංශයේ විජේරත්න ඇතුළු නිලධාරීන් හතර දෙනෙකු එසේ එසේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ඉන් අනතුරුව අබුඩාබි වලට යාමට නියමිතය.

උදයංග වීරතුංග මහතා පසුගිය (පෙබරවාරි 04) උදෑසන ඩුබායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත්වුයේ අවලංගු කරන ලද ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදීය.

 අධිකරණය මගහැර සිටීම :

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසරකට පමණ පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.

ඒ, පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේදී සාවද්‍ය පරිහරණයට අදාලව සිදුකෙරෙන විමර්ශන කටයුතු වලට සහයනොදී අධිකරණය මඟහැර සිටිම හේතුවෙනි .

මේ අතර උදයංග වීරතුංග මහතාට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

කෙසේවුවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා උදයංග වීරතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

චෝදනා මොනවද ?

මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විසින් සිදුකෙරෙන විමර්ශන වලදී කටඋත්තරයක් ලබාදෙන ලෙස ඔහුගෙන් කල ඉල්ලීම නොසලකා හරිමින්, එම කැඳවීමට අවනත නොවීම හේතුවෙන් උදයංග වීරතුංග මහතාට අපරාධ විධි විධාන සංග්‍රහයේ යටතේ චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව ලංකාවට පැමිණ කටඋත්තරයක් ලබාදෙමින් ඔහුට අධිකරණයෙන් සහනයක් ලබාගැනීමේ ඉඩක් ඇතැයි නීතිවේදීන් තර්ක කරති.

නමුත් පසුගියදා අත්අඩංගුවට පත්වීමේ සිද්ධියත් සමග ඔහුට තවත් චෝදනා දෙකක් එල්ලවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසිය.

ශ්‍රී ලංකා රජය විසින් තානාපතිවරයකු ලෙස ඔහුට ලබාදී රාජ්‍යතන්ත්‍රීක විදෙස් ගමන් බලපත්‍රය ධුර කාලයෙන් පසු යලි බාර නොදීම හා අවලංගු කර ඇති ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් විදෙස් රටකට යාමට තැත් කිරීම එසේ අලුතින් එල්ලවී ඇති චෝදනා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න