ජනාධිපතිට එරෙහිව හෙට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපතිට එරෙහිව හෙට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට යහපාලන මුලධර්ම කඩකරමින් කටයුතු කරන බවත් ඒ හේතුවෙන් හෙට (09) දිනයේ ජනාධිපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් කිරීමට තම සංවිධානය කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා මේ බව සඳහන් කරන අතර ඒ හාරහා ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිලිබද සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට අනුව රටට වූ පාඩුව රුපියල් බිලියන 11 ක පාඩුවක් සිදුව ඇත්නම් රටට මෙම පාඩුව සිදු කිරීම සදහා වූ සැලැස්මේ මහ මොලකරු අර්ජුන මහේන්ද්‍ර නම් ඔහු මහ බැංකුවේ අධිපති හැටියට පත්කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශයට අනුව වූවත් ජනාධිපතිවරයා බැවින් ඔහුද ඊට වගකිව යුතු බවයි.

එසේම මෙරට පොලිසියට කොස්තාපල් කෙනෙකු බදවා ගැනීමට පෙර එම පුද්ගලයා පිළිබඳ නිෂ්කාශන වාර්තාවක් ලබාගන්නා බවත් ඒ පසුබිමේ මෙරට පුරවැසියෙකු නොවන කෙනෙකු මහබැංකුවේ අධිපති කලේ ඇයිද යන ප්‍රශ්නයෙන් මිදීමට ජනාධිපතිවරයාට නොහැකි බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවද මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා හැටියට එම අමාත්‍යාංශවල සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා වගකිවයුතු බවත් එහෙයින් නීතියෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති මුක්තියට මුවා වී සිටීමට ඔහුට හැකි වුවත් සිය හෘද සාක්ෂියට මුවා වී සිටීමට හැකිද? යන්න තීරණය කල යුත්තේ ජනාධිපතිවරයාම බවත් එම නිවේදනයේ අවධාරණය කර ඇත.

ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ හෙට දිනයේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවේ ජනාධිපතිවරයාට පමණක් නොව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරකුට එරෙහිව පැමිණිලි කිරීමට තමන් අපේක්ෂා කරන බවය.

වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත. "රජය ජනතාවට පොරොන්දු වූ යහපාලනය ක්‍රියාත්මක කළ යුත්තේ විනිවිදභාවයකින් යුක්තවය. රට තුළ යහපාලනය ක්‍රියාත්මක කිරීම පමණක් නොව ක්‍රියාත්මක වන බව පෙනෙන්නටද තිබිය යුතු වුවත් අප රට තුල යහපාලන ක්‍රියත්මක වන බව පෙනෙන්නට නැත. ඉහළම පාලකයාද ,පහලම නිලධාරියාද යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයි.යහපාලනය ආරම්භ කලයුත්තේ රටේ පාලකයාගෙන්ය. එහෙත් අප ජනාධිපතිවරයා යහපාලන තුට්ටුවකටවත් මායිම් කරන බවක් පෙනෙන්නට නැත. එසේ චෝදනා කිරීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් යහපාලන පොරොන්දු මහදවල් කඩකර ඇති නිසාය. ජනතාව හැටියට අපට කල හැක්කේ ඒ පිළිබදව අදාල ආයතන වලට පැමිණිලි කිරීමය."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න