හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීන්දු කළේය.
ඒ අනුව ලබන මාර්තු මස 13 වැනිදා තෙක් හිටපු ජනාධිපති ලේකම්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට අධිකරණය නියම කළේය.
ලලිත් වීරතුංග විසින් කළ ඉල්ලීමක් සළකා බැලූ දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය කරන ලදී.
ලලිත් වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ජනාධිපතිවරයා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඇරයුමක් ලැබී තිබෙන බැවින් අදාළ කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල විසින් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු මස 13 වැනිදා තෙක් ලිහිල් කිරීමට නියම කළේය.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව විරතුංග විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනයට අදාළව වීරතුංග ඇප ලබා දීමේදී ඔහුගේ විදේශ ගමන් අභියාචනාධිකරණය විසින් තහනම් කර තිබිණි.

