වැලි මිල අඩු කරන්න නම් කප්පම් ගන්න එක නවත්තන්න - පුබුදු

වැලි මිල අඩු කරන්න නම් කප්පම් ගන්න එක නවත්තන්න - පුබුදු

වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලිමිල අඩු නොවන බවත් වැලි ප්‍රවාහනයේදී කප්පම් ගන්නා මාෆියාව නතර කිරීමට පියවර ගත යුතු බවත් පෙරටුගාමී සමාජාවදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

ගල්, වැලි, පස් ප්‍රවාහනය කිරීමට අදාළව තිබෙන නීතියේ සංකීර්ණකමක් තිබෙන බවත් ඉන් ජනතාව අපහසුතාවට පත්වන බව සැබෑ නමුත් ඊට කළ යුත්තේ විධිමත් පටිපාටියක් සැකසීම මිස බලපත්‍ර අහෝසි කිරීම නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

''වාර්ෂිකව ගංගාවලින් වැලි ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රමාණය ගණනය කරලා, ඒ එක් එක් තැන්වලින් වාර්ෂිකව ගන්න පුළුවන් වැලි ප්‍රමාණයට තමයි බලපත්‍ර දෙන්නේ. නමුත් හොරෙන් වැලි ගොඩදාන නිසා ප්‍රවාහනයට බලපත්‍රයක් දීලා, පරීක්ෂා කරන ක්‍රමයක් සකසා තිබෙනවා. රටේ සිමෙන්ති භාවිතය බැලුවාම වැලි කියුබ් ලක්ෂ 8ක් විතර භාවිත වෙනවා. නමුත් බලපත්‍ර අරන් තිබෙන්නේ ලක්ෂ හතරකට විතරයි. ඒ නිසා ලක්ෂ හතරක් දැනටමත් හොරෙන් ගන්නේ. බලපත්‍ර අහෝසි කිරීම නිසා විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා." යැයිද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ පැවසීය.

බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලි කියුබ් එකකින් අඩු වන්නේ රුපියල් 642කි. එහෙත් වැලි කියුබ් තුනකින් රුපියල් 5000ත් 8000ත් අතර මුදලක් කප්පම් ගන්නා බව ඔහු අනාවරණය කළේය. වැලි කියුබ් තුනක් පොළොන්නරුවේ සිට කොළඹට ගෙන ඒමේදී ප්‍රවාහන ගාස්තු, බලපත්‍ර ගාස්තු, වැටුප් ඇතුළු සියලු වියදම් සහිතව රුපියල් 35000ක් පමණ විය යුතු නමුත් මිල රුපියල් 55000ක් පමණ වන බවත් මේ අමතර රුපියල් 20000 එකතු වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

''කන්තලේ, සූරියපුර ප්‍රදේශයේ විශාල වැලි තොගයක් තිබෙනවා. සෝමාවතිය අභයභූමිය ප්‍රදේශයෙන් නීති විරෝධී ලෙස ගොඩදැමූ වැලි තොගයක්. ඒවා ප්‍රවාහනය කරන්න විදියක් නෑ, බලපත්‍ර ලබා ගන්න බැරි නිසා. දැන් සැකයක් තිබෙනවා, මේ ආකාරයට නීති විරෝධීව ගොඩදාලා, ප්‍රවාහනය කරන්න බැරිව තිබෙන වැලි තොග ප්‍රවාහනය කරන්නද මේ බලපත්‍ර අහෝසි කරන්නේ කියලා. කොස්ගස් කැපීමට බලපත්‍ර ලබා ගත යුතු බවට තිබෙන නීතිය දින තුනකට අත්හිටුවූ අත්දැකීම් අපට තිබෙනවා." යැයිද පුබුදු ජයගොඩ පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න