Language Switcher

V2025

උදයංග වීරතුංග නාටක ජවනිකාව: එජාප - බැසිල් සැලසුමක් !

රුසියාවේ හිටපු තානාපති අත්අඩංගුවට ගැනීමේ 'ජවනිකාව' එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක්, රාජපක්ෂ රෙජීමයේ ප්‍රධානියෙකු වන බැසිල් රාජපක්ෂ සමඟ එක්ව කළ සැලැස්මක් බව පැහැදිලි යයි ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.

කාලාන්තරයක් තිස්සේ නිදහසේ නිදැල්ලේ සැරසරමින් සිට හිටි අඩියේ අත් අඩංගුවට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත කළු පැල්ලමක් සහ පහරක් එල්ල වූ බැඳුම්කර කොල්ලකරුවන් අත් අඩංගුවට පත්වන මොහොතේදී බව එම වෙබ් අඩවිය පවසයි.

 එම පුවත වාර්තාව පහත පළවේ.

 ''රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි.

එහෙත් ඊයේ (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්‍රවෘත්තියකි.

මේ සමඟම එදා බහුතරයක් වෙබ් මාධ්‍ය වාර්තාකල පරිදි උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීම නාටකයක් බව අද තහවුරු වී ඇත.

 මෙම නාට්‍ය ජවනිකාව පිටුපස සිටින අයවලුන් කවුරුන්ද..?

උදයංග වීරතුංග යනු රාජපක්ෂ රෙජීමයේ දේශපාලන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අරමුදල් කළු සල්ලි සුදු කිරීම හරහා සම්පාදනය කරන්නාය.

එක්සත් ජාතික පක්ෂයේ සැලසුම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා රාජපක්ෂවරුන්ගේ දේශපාලන පක්ෂයක් ලෙස බැසිල් රාජපක්ෂ විසින් ගොඩනඟන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිටුපස සිටින එක් කළු චරිතයකි උදයංග.

එම එජාපයේ සැලැස්මට සහ රාජපක්ෂ රෙජීමයේ පැවැත්මට දැවැන්ත සහයක් ලබාදෙන චරිතයක් වන උදයංග වීරතුංග කාලාන්තරයක් තිස්සේ නිදහසේ නිදැල්ලේ සැරසරමින් සිට හිටි අඩියේ අත් අඩංගුවට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත කළු පැල්ලමක් සහ පහරක් එල්ල වූ බැඳුම්කර කොල්ලකරුවන් අත් අඩංගුවට පත්වන මොහොතේදීමය.

එය මෙම නාටකයේ එක් ඉලක්කයක් සහ මාධ්‍ය ප්‍රචාරණය ලබාගැනීමේ අරමුණක් පෙන්නුම් කරයි. ඒ තුළින් මෙය එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක්, රාජපක්ෂ රෙජීමයේ ප්‍රධානියෙකු වන බැසිල් රාජපක්ෂ සමඟ එක්ව කළ සැලැස්මක් බව පැහැදිලිය.

උදයංගගේ නාටකයේ පොලිස් ජවනිකාව:

උදයංග වීරතුංගව මෙරටට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව සිදුකළ යුතු ක්‍රමවේදයක් පවතී.

එහෙත් පෙබරවාරි 04 වනදා ඩුබාහිදී ජාත්‍යන්තර පොලිස් අත් අඩංගුවට පත් උදයංග වීරතුංගව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ අංශය හෙවත් FCID යට වන අතර ඔවුන්ට මෙම කුප්‍රකට ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවා තම ග්‍රහණයෙන් පලා පැනයෑමේ වගකීමෙන් පැන යාමට නොහැක.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොලිසියෙන් සහ මීට වගකිව යුතු බලධාරීන්ගෙන් නැඟිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

01. උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීමට ලක්වන අවස්ථාවේදී දිලිත් ජයවීරට අයත් “දෙරණ” නාලිකාවට එසැනින් පුවත් (බ්‍රේකින් නිව්ස්) ගැසීමට කෙටි පණිවුඩ ලැබුනේ කාගෙන්ද..?

02. ජාත්‍යන්තර අත් අඩංගුවට පත් උදයංග වීරතුංග නම් අපරාධකරුවා මෙරටට ගෙන ඒම සඳහා 07 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඩුබායි බලා යෑමට සුදානම් බවය.

03. ඩුබායි බලායෑමට on arrival visa තිබියදී වීසා ගැනීමට කියා කාලය කා දැමුවේ කවුරුන්ද..? කාගේ උවමනාව මතද..?

04. මෙවැනි ජාත්‍යන්තර අපරාධකරුවකු රැගෙන ඒම සඳහා රාජත්‍රාන්ත්‍රික මැදිහත් වීමක් සිදුකිරීමට හැකියාව තිබියදී මෙම 07 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ගොස් ඇත්තේ සාමාන්‍ය මගීන් සංචාරය කරන ක්‍රමයට වන අතර ඊට උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද..?

05. නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් විය යුතු වුවද, ඔවුන් ඩුබායි යන තුරු මෙම උදයංග වීරතුංග සිටින්නේ “නිල් වරෙන්තු” යටතේ වන බව දැන සිට නොමැත. පොලිස් දෙපාර්තමේන්තුව මෙම අපරාධකරු අත් අඩංගුවට ගැනීමට යෑමට ප්‍රථම කිසිඳු පසුබිම් විමර්ශනයක් සිදුකොට නැත. ඒ ඇයි..? මීට වරදකරු කවුරුන්ද..?

06. ඉන්ටපෝල් ආයතනය නොහොත් ජාත්‍යන්තර පොලිසියෙන් මේ පිළිබඳව විමසීමක් සිදුකොට දැන නොගෙන ඩුබායි බලාම ගොස් උදයංගගේ වරෙන්තුවේ ස්වභාවය අනාවරණය කරගැනීම දක්වාම ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ මෙම කුප්‍රකට ක්‍රියාදාමය කුමක්ද..? කාගේ උපදෙස් සහ අනුදැනුම මතද..?

07. ශ්‍රී ලංකා පොලිසියෙන් උදයංග වීරතුංගව මෙරටට රැගෙන ඒම සඳහා ගිය නිලධාරීන් කවුරුන්ද..? එම නිලධාරීන් පත්කරනු ලැබුවේ කවුරුන්ද..?

 ජනපති දැනුවත් කර නැහැ :

 එසේම අපවෙත වාර්තාවන පරිදි උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීමේ සිට ඔහු රැගෙන ඒම සඳහා පොලිසිය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සිදුකිරීමට ගිය ක්‍රියාවලිය සහ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කොට නැත.

උදයංග වීරතුංග සම්බන්ධයෙන් වන ලිපිගොනු සහ අපරාධ තොරතුරුද නිසි පසුබිම් විමර්ශනයකට ශ්‍රී ලංකා පොලිසිය විසින් යොමුකොට නොමැති බවද සඳහන්.

මෙවැනි පසුබිමක් තුල මෙයින් පැහැදිලිවන්නේ මෙය රාජපක්ෂ රෙජීමය සහ එක්සත් ජාතික පක්ෂය සැලසුම් සහගතව දේශපාලනිකව තීරණාත්මක මොහොතකදී රටේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාව අපහසුතාවයට පත්කිරීම සඳහා කරන ලද නාට්‍ය ජවනිකාවක් බවය.''