විජයදාසගේ සංශෝධනවලට මහින්ද කැමති නෑ

විජයදාසගේ සංශෝධනවලට මහින්ද කැමති නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා දෙකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් පිරිසක් එකඟ නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

එම සංශෝධන ආණ්ඩුවේ යෝජනා ලෙස ඉදිරිපත් නොකර පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩුව තුළ එම යෝජනා පිළිබඳව එකඟතාවක් නොමැති නිසා බව අප සමඟ අදහස් දැක්වු ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයෙක් කීය.

මේ වනවිට සංශෝධන පිළිබඳව ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් අතරවත් සාකච්ඡාවක් සිදුව නැති බවද එම නායකයා කීය.

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස මෙම සංශෝධනය යෝජනා ඉදිරිපත් කර තිබේ.

විසිඑක්වැනි සංශෝධනයට අනුව යම් දිස්ත්‍රික්කයකින් මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂයට මන්ත්‍රීධුර ලබාදීමේ මෙතෙක් ලබාගත යුතුව තිබුණු අවම ඡන්ද ප්‍රතිශතය ඉහළ දැමීමට යෝජනා කර ඇත. දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් ලබාගත යුතුව තිබුණු සීයට 5ක සීමාව සීයට 12.5 දක්වා ඉහළ දැමීමට ඒ අනුව යෝජනා කර ඇත. එය වත්මන් ආණ්ඩුව සමග කටයුතු කරන ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී පක්ෂය ඇතුළු සුළුතර පක්ෂ ගණනාවකට අවාසිදායක ව්‍යවස්ථා සංශෝධන යෝජනාවකි.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි අඩංගු වන්නේ ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කරන අන්දමේ යෝජනා කිහිපකි. ඒ අනුව මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත පත්කිරීමට යෝජනා කර ඇත. ඊට අමතරව ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධුර ලබාගැනීමට තිබුණු සීමා ඉවත් කර ඇත. මෙම යෝජනාවලින් ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් වන අතර කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපතිවරයා සතු බලයද වර්ධනය වේ.

මෙම සංශෝධන දෙකට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමග සාකච්ඡා කොට එකඟතාවක් ලබාගත්තේදැයි අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ තවම එවැනි එකඟතාවක් නොමැති බවයි. එහෙත් මේ ගැන ඕනෑ තරම් කතාකර තිබෙන බවත්, කතාකළාට කිසිවෙක් ක්‍රියා නොකරන නිසා තමන් ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කළ බවත් ඔහු කීය.

මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගැසටි කිරීමෙන් පසු අධිකරණය ඉදිරියේ එයට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දින 14ක කාලයක් ලබාදෙන බවත් , ඉන්පසුව පක්ෂ නායක රැස්වීමකදී න්‍යායපත්‍රයට ඇතුළත් කොට එය විවාදයට ලක් කළ හැකි බවත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ආණ්ඩුවේ එකඟතාවක් නොමැති නිසා ඉදිරි මැතිවරණයට පෙර මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා විවාදයට නොගනු ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි. ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටීම සඳහා මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරියට ගැනීමේ ඉඩක් ඇති බව වැඩිදුරටත් එම ආරංචිමාර්ග පවසයි.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න