Language Switcher

V2025

ආණ්ඩුවට හතේ හත : චිනයෙන් ඩොලර් මිලියන 1000ක ණයක් !

රටේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි දැඩි මූල්‍ය අර්බුධය හමුවේ චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ණය මුදලක් ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීන සංවර්ධන බැංකුවෙන් ණය ගැනීමට අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලයට යොමුකර ඇත.2020 වර්ෂය සඳහා විදේශ අනුමැතිය කාලීන මුල්‍ය පහසුකම් ලබාගැනීම යනුවෙන් නම් කරන ලද එම කැබිනට් පත්‍රිකාවට පසුගිය ජනවාරි 14 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත.

එම ණය ගැනීම සඳහා පහසුකම් වශයෙන් දක්වා ඇත්තේ, 2020 ජනවාරි සිට අප්‍රේල් දක්වා ණය හා පොලි ආපසු ගෙවීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1195ක් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ගෙවීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 568ක් අවශ්‍ය වීමත්, රජය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති සඳහා විදේශ මුදල් අවශ්‍යතාවන් පැවතීමත්ය.

මෙම ණය මුදල ගැන සාකච්ඡා කිරීම මේ තීරණයට අත්පුඩි ගසන අය අත්පුඩි ගැසීමට පෙරත් ඒ ගැන කල්පනා කළ යුතුය. මන්ද මේ අණ නීතියට පිටින් පැතිරී යා හැකි බැවින්ය.

පරණ ණය අලුත් කිරීම !

චීන සංවර්ධන බැංකුවේ ඉහළ පෙළේ නිළධාරී කණ්ඩායමක් ජනවාරි 03 හා 04 දිනවල ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවු බවද එම නියෝජිත පිරිස ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සකසා බලා ඊට යහපත් ප්‍රතාචාර දැක්වු බවද කැබිනට් සංදේශයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය 2018 වර්ෂයේදී  චීන සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට එළැඹී ඇති අතර ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය පමසුකම් ලබාගෙන ඇත.

කැබිනට් සංදේශයෙන් යෝජනා කර ඇත්තේ එම ණය ගිවිසුමේ සඳහන් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2000 දක්වා වැඩිකිරීමට හෝ චීන සංවර්ධන බැංකුව සමග නව ණය ගිවිසුමකට එළඹීමට කටයුතු කළ යුතු බවය. 

මුදල් ඒකක වෙනස් කරයි !

ඊට අමතරව චීනය සමග ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා 2017 වර්ෂයේ දී එළැඹුණු ඇමෙරිකානු ඩොලර් 242,644,617ක සහන ණය ගිවිසුම චීන යුආන් රෙන්මින්ඩ් (ආර්එම්ඩී) මුදල් ඒකකයට පරිවර්තනය කිරීමටත්, චීනය සමග ඇති අනෙකුත් ණය ගිවිසුම් යුආන් රෙන්මින්ඩ් මුදල් ඒකකයට පරිවර්තනය කිරීම සඳහාත් එම කැබිනට් සංදේශයෙන් අවසර ඉල්ලා ඇත.

ණය මුදලේ ප්‍රමාණය, ණය ලබා ගැනීමේ වාර ගණන, කල් පිරීම, මුදල් වර්ගය, පොලි අනුපාතය හා ණය කොන්දේසි තීරණය කිරීම ඇතුළු චීන ණය ගිවිසුම ඉහළ නැංවීම සඳහා සාකච්ඡා කර අවසන් කිරීමට කමිටුවක් ස්ථාපිත කර ඇති අතර එම කමිටුවේ සහාභාගීත්වය දරන්නේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායකය.

සෙසු සමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.එම්. ඒ. රත්නායක, විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.ඒ.එස්. අතුල කුමාර , මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කපිල සේනානයක, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය පිළිබඳ සුපරීක්ෂක ආචාර්ය එම්.ඉසෙඩ්. එම් .අසීස් , විදේශ සම්පත් දෙපාර්තුවේ අධ්‍යක්ෂ ( ප්‍රාග්ධන වෙළඳපල) , එම්.ටී.අයි.ටී. අමරසේකර හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.ඒ.එල් උදයකුමාර පත්කර ඇත.

(උපුටා ගැනීම -අනිද්දා - ලසන්ත රුහුණගේ)