මන්ත්‍රී රන්ජන් යළිත් රිමාන්ඩ්

 මන්ත්‍රී රන්ජන් යළිත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන මස 12 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යු.කේ පැල්පොල මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණ විනිසුරුවරුන් සමග දුරකතනයෙන් සාකච්ඡා කර අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගිය 15 වැනි දා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ, සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් දීර්ඝව ක්‍රියාත්මක බවයි.

එබැවින් විමර්ශන අවසන් වනතුරු මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට විරුද්ධ බව අධිනීතිඥවරයා කියා සිටියේ ය.

ඔහු පෙන්වා දුන්නේ, මන්ත්‍රීවරයාට ඇප ලබාදුන්හොත් ඔහු සමාජය ඉදිරියේ විවිධ ප්‍රකාශ සිදු කළ හැකි බවයි.

නඩුවේ සාක්ෂිකරුවන්ට වෙනත් පුද්ගලයින් මාර්ගයෙන් බලපෑම් කිරීමට ඉඩ ඇති බැවින් නඩු කටයුතු අවසන් වනතුරු රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අභයරත්න මහතා මන්ත්‍රීවරයාට ඇප ලබාදුනහොත් ඔහු විමර්ශනවලට බාධාවක් නොකරන බව අධිකරණයේදී සඳහන් කළේ ය.

ඔහු ඉල්ලා සිටියේ, දැනටමත් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත මන්ත්‍රීවරයා මුදා හරින ලෙසයි.

මෙහිදී කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ලබන මස 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් දුරකතන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඔහුගේ කටහඬ සාම්පල් ලබා ගැනීමට ලබන මස 07 වැනි දා රන්ජන් රාමනායක මහතා රජයේ රස පරීක්ෂකරයා හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න