එජාප අර්බුදය අවසන් : පක්ෂයේ  නායක රනිල් -  සන්ධානයේ නායක සජිත් !

එජාප අර්බුදය අවසන් : පක්ෂයේ  නායක රනිල් -  සන්ධානයේ නායක සජිත් !

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (30) පස්වරු 3.00ට පැවැත්වෙන බවත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ ගැනීමට නියමිත බවත් එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විශේෂ යෝජනාවක් ලිඛිතව ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේවනවිට කටයුතු කරමින් සිටින බව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වලක්වා ගනිමින් ඉදිරි මහ මැතිවරණයට සමගි සම්පන්නව මුහුණදීම සඳහා රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස අතර බලතල හා වගකීම් නිශ්චිතව බෙදා හදා ගැනීමට එමගින් යෝජනා කර ඇතැයි පැවසේ.

ඒ අනුව පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ වෙතත්, ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ගොඩනැගීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතත් ලබාදීමට යෝජනා කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

එම යෝජනා සහිත ලිපියට ඊයේ (29) රාත්‍රී වනවිට එජාපයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් කර ඇතැයි ද වාර්තාවේ.

සජිත් කොළඹින් : රනිල් ජාතික ලැයිස්තුවෙන් !!

විපක්ෂයේ මැතිවරණ සන්ධානයේ නායකයා ලෙස යෝජනා කර ඇති විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට ඉදිරි මහ මැතිවරණයෙදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන ලෙසත් රනිල් වික්‍රමසිංහට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන ලෙසත් එම මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇතැයි පැවසේ.

එසේම, විපක්ෂ ඒකාබද්ධ සන්ධානයේ ලේකම් ධුරයට එජාප හිටපු සභාපති කබීර් හෂීම් නම් කරන්නැයි ද යෝජනා වී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

නව සන්ධානයේ නම හා ලකුණ ?

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුයේ, එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව විපක්ෂ සන්ධානයේ නම සහ ලකුණ 31දාට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

එම සන්ධානය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මෙහෙයවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව නව සන්ධානයට නව ලේකම්වරයෙකු පත් කර ඉදිරි මහ මැතිවරණයට අදාළ නාමයෝජනා සෑදීමටද සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න