Language Switcher

V2025

දෙබිඩ්ඩන් ඉවත් කර ඉදිරියට යන ජනපතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (13) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එහිදී යහපාලන සම්මුති ආණ්ඩුවේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් කැබිනට් මණ්ඩලය සම්බන්ධවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානය සම්බන්ධවත් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ මතය හෙළිකිරීමට සුදානමක් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ජනාධිපති උපදේශකයින්ගේ තීරණය

මේ අතර 2015 ජනවාරි 08 ජනවරම තුළ ලබාදුන් මුලික පොරොන්දු කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඉදිරි වසර දෙකක කාලය කටයුතු කළ යුතු බවට ජනාධිපති උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

එහිදී ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කළ යුතු බවත් ජනවාරි 08 පොරොන්දු අනුව දුෂිතයන්ට දඬුවම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස්කරදීම ඇතුළුව දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මැදිහත්විය යුතු බවට ජනාධිපති උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

එසේම වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ තිබෙන බරපතලම කළකිරීම වන්නේ දුෂිතයන් අල්ලන බවට වූ පොරොන්දුව වසර තුනක් යනතුරු ඉටුනොකිරීම බවත් ඒ හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැහැදිළි සංවාදයක් සිදුකර දුෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම අධෛර්යමත් කරන පාර්ශව එම කටයුතු වලින් ඈත් කළයුතු බවද ඔවුන් දැනුම්දී ඇත.

සාගල සහ මලික්ගේ තනතුරු වෙනසක්

තවද අමාත්‍ය මලික් සමරවීරගේ ප්‍රධානත්වයෙන් තිබෙන ජීවන වියදම් කමිටුව වෙනත් අමාත්‍යවරයෙකු වෙත හෝ ජනාධිපතිවරයා යටතට ගැනීමත් නීතිය සහ සාමය අමාත්‍යධූරය දරන සාගල රත්නායක වෙත වෙනත් අමාත්‍යාංශයක් ලබාදිය යුතු බවටද උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. එසේම ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව අපහසුතාවට පත්කරණ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවක්ද මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබාදීමට ජනාධිපති උපදේශකයින් කටයුතු කර ඇති අතර එම එක් එක් අමාත්‍යවරුන්ට අදාළ නිර්දේශද එම වාර්තාවේ අඩංගු බව දැනගන්නට ඇත.

වැඩ නොකරන අයට යන්න කියන්න

තවද පසුගිය වසර තුනක කාලය තුළ සියළු අමාත්‍යංශ වල කාර්යසාධන වාර්තාවක් කැඳවා ඇති බවත් කාර්ය සාධනය දුර්වල අමාත්‍යංශ සම්බන්ධ විෂය මාරු කිරීම් සහ අමාත්‍යධුර අහිමිකිරීම ඇතුළුව රැඩිකල් තීරණ රැසක් යෝජිත කැබිනට් සංශෝධනයේදී සිදුකිරීමටද උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව තවදුරටත් රාජපක්ෂ රෙජීමය නඩත්තු කරමින් ආණ්ඩුව දුෂ්කරතාවට පත්කරණ අමාත්‍යවරුන්ට සිය ධූර වලින් ඉවත්ව එම පාර්ශවයට එක්වෙන ලෙස හෝ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට නිර්දේශ කළ යුතු බවටද ජනාධිපති උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කොට ඇති බව වාර්තා වෙයි.

සිවිල් සංවිධාන වෙතින් පණිවිඩයක්

මේ අතර 2015 ජනවාරි 08 ජනවරම වෙනුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වූ සිවිල් සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීන් ජනාධිපතිවරයා වෙත යෝජනා මාලාවක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

එහිදී ඔවුන් දැඩිව අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයා තම පක්ෂය තුළ සිටින රාජපක්ෂ හිතවාදීන් වෙතින් ප්‍රවේශම් විය යුතු බවත් ජනවාරි 08 ජනවරම අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ජනාධිපතිවරයා සුදානම් නම් අඛණ්ඩව තම සහය ජනාධිපතිවරයාට ලබාදෙන බවය.

ඇමැතිධුර 30ක් එක්ක වැඩේ කරන්න

එසේම කිසිවෙකුත් බලෙන් ආණ්ඩුවේ තබාගන්නට කටයුතු නොකළ යුතු බවත් ඉදිරි වසර දෙකක කාලය තුළ අමාත්‍යවරුන් 30කින් යුතුව සක්‍රීය කැබිනට් මණ්ඩලයක් හරහා යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් 2020 දී විශිෂ්ට ජනවරමක් ලැබීම දුෂ්කර නොවන බවද ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කොට ඇති බව වාර්තා වෙයි.