ලංකාව ලෝක ලෙඩක් දාගෙන : ජීනිවා යෝජනාවලින් ලංකාව ඉවත්වීමට තීන්දුවක් අරගෙන !

ලංකාව ලෝක ලෙඩක් දාගෙන : ජීනිවා යෝජනාවලින් ලංකාව ඉවත්වීමට තීන්දුවක් අරගෙන !

වත්මන් ආණ්ඩුව ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර මේ පිළිබඳව ඊයේ (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් පැවසීය.

2015 හා 2016  වසරවල මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාවල 30 හා 31 වැනි යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී පැවසීය.කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව මෙම යෝජනා දෙකම හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ  කැමැත්ත පළ කළ බවත්, එම අවස්ථාවේදී මෙය පිළිනොගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වාර්තාවට අනුව අද වන විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රශ්නයක් පැමිණි බවත්, ඇමෙරිකාව මානව හිමිකම් පිළිබඳව සුදනෙක් වීමට කටයුතු කළත් හමුදාපතිට කිසිදු සාක්ෂියක් නොමැති චෝදනා එල්ල කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියේය.මේ සම්බන්ධව ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක වාර්තා පළවී ඇති අතර පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධව තීන්දුව ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාලයේ කැඳවූ විශේෂ රැස්වීමේදී ගෙන ඇති බවත් සඳහන්ව ඇත.

අදාළ සාකච්ඡාව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව ඇති බවත් ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනා වලින් ඉවත්විය යුතු යන්න අවධාරණය කර ඇති බවත් එම පුවත්වල දැක්වේ.2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජයට සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැතිව බවත් ඒ අනුව එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන විසින්  ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් එම පුවත්හී වැඩිදුරටත් සඳහන්ව ඇත.

ආණ්ඩුව ලොකු වැරැද්දකට මුල පුරන්න යන්නේ !

මේ සම්බන්ධව දේශපාලන විචාරක මතය වී ඇත්තේ වසර 4ක් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව තුළ ගොඩනගාගෙන තිබු කීර්තිය මෙවැනි ලාභ දේශපාලන වැඩ හරහා මුළුමනින්ම  නැතිකර ගැනෙනු ඇති බවය.

වත්මන් ආණ්ඩුවේ පිරිස් එවකට විපක්ෂයේ සිටිමින් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට පාවාදීමක් ගැන විවිධ මත ප්‍රචාරය කළත් පසුගිය ආණ්ඩු සමයේ එවැනි කිසිවක් සිදුනොවූ බවත් ඔවුන් පෙන්වා දෙයි.එසේම මහින්ද රාජපක්ෂ සමයේ පිහිටවූ ජනාධිපති කොමිෂන් නිර්දේශ වාර්තාවල අඩංගු කරුණු හැර වෙනත් කිසිවක් වෙනුවෙන් එම ආණ්ඩුව කටයුතු නොකළ බවත් දැන් හදිසියේ සහ මූලික විකල්ප වැඩපිළිවෙලක් නොමැතිව ජිනීවා වෙතින් ඉවත්වීම හමුවේ ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ බලවත් අපකීර්තියකට සහ හුදෙකළාවීමක් සිදුවීම අනිවාර්යයක් බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

තවද මෙවැනි ක්‍රියාවක් හේතුවෙන් ලංකාව නව ආණ්ඩු පාලනය යටතේ මානව හිමිකම් නොතකන රටක් බවට ලේබල්වීම කොහෙත්ම වලක්වා ගත නොහැකි වනු ඇති බවත් විචාරක මතය වී ඇත.

ආර්ථික සම්බාධක වැටීම වලක්වා ගත්තේ මංගල !2015 වසරේ බල පෙරළිය සිදුවන අවස්ථාවේ ලංකාව ලෝකයෙන් කොන්වී යුරෝපා GSP + බදු සහනය පවා අහිමිව සිටිය බවත් එම තත්ත්වය මඟහැර ගෙන යළිත් ලෝකය සමඟ ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇගයීම් ලබන තැනට ගෙනාවේ එම ආණ්ඩුවේ පළමු විදෙස් අමාත්‍යවරයා වූ මංගල සමරවීර බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එසේම මහින්ද රාජපක්ෂ රෙජීම පාලන සමයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පැණවීමක් අභිමුව සිටි බවත් ඔවුන් සිහිපත් කරයි.එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ලංකා ආර්ථිකය මේ මොහොත වන විටත් බංකොලොත් කරගෙන සිටින වත්මන් පාලනය ජිනීවා යෝජනාවෙන් ඉවත්වීම හමුවේ බරපතළ මූල්‍ය අවධානමකටද මුහුණදෙනු ඇති බවයි.

එහිදී බලවත් රටවල සහය නොලැබී යාමේ අවධානම ඔවුන් විශේෂයෙන් පෙන්වා දෙයි.එවැනි පසුබිමක් ඇතිවුවහොත් ලංකා ආර්ථිකය ග්‍රීසිය, සිම්බාබ්වේ වැනි රටවල ආර්ථික මට්ටමකට ඇද වැටෙනු ඇති බවටත් ඔවුන් අනතුරු හඟවන අතර එය මේ ආණ්ඩුවේ අනාගතයට තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න