අවනීතියට වැඩ කරන්න කියා ඇමතිවරුන්ගෙන් දිගින් දිගටම රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් ! (වීඩියෝ)

අවනීතියට වැඩ කරන්න කියා ඇමතිවරුන්ගෙන් දිගින් දිගටම රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් ! (වීඩියෝ)

මීට පෙර සිදු නොවූ ආකාරයට ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රසිද්ධ චණ්ඩි  හැසිරෙමින් නීතියට පිටින් ඔවුන් දෙන විධාන ක්‍රියාවට නගන්නට රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ බලපෑම් කරන තත්ත්වයක් පෙනෙන්නට ඇත.

මෙහි විශේෂත්වයක් වන්නේ රාජ්‍ය නිලධාරීන් ප්‍රසිද්ධියේ තමන්ට පනවා ඇති නීති සහ චක්‍රලේඛ වලට පිටින් යාම ප්‍රතික්ෂේප කිරීමේදී අවනීතිය ක්‍රියාවට නංවන ලෙස අමාත්‍යවරුන් එම නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීමය. එසේම එවැනි අනීතික බලපෑම් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බවට ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය කටයුතු කරන සමයේ මෙවැනිදේ සිදුවීමය.

පසුගියදා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කටයුතු කල අතර ඊට පසුව ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ගාල්ලෙනි.

එම පුවත මෙසේය.

''ඕවට ලෑස්ති වෙන්න එපා. චක්‍ර ලේඛනයට පිටින් හරි ඔය ළමයා පාසලට ඇතුලත් කරන්න ඕන. මම ඕගොල්ලෝ ගැන හොඳට දන්නවා... '' යයි මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, විදුහල්පතිවරයකුට තර්ජනය කර තිබේ.

ඔහු එසේ තර්ජයක් කර ඇත්තේ, ඊයේ (17) බද්දේගම ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර අධ්‍යාපනයට අදාළ කාරනා සාකච්ජාවට ගත් අවස්ථාවේදී, ගාල්ල වදුරඹ විදුහල අසල වාසය කරන දරුවකු විදුහල්පතිවරයා විසින් එම පාසලට ඇතුලත් නොකර ගැනීම සම්බන්ධයෙනි.

එහිදී ප්‍රදේශය දේශපාලන අධිකාරිය හා රජයේ නිලධාරීන් අතර උණුසුම් කතාබහක් ඇතිව තිබේ.

මෙහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති චක්‍ර ලේඛනවලට පරිබාහිරව තමා කිසිඳු ළමයකු පාසලට ඇතුලත් කර නොමැති බවත්,  රජයේ චක්‍ර ලේඛනවලට පිටින් වැඩකිරීමට තමාට නොහැකි බවත්ය.

මෙහිදී මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා පවසා ඇත්තේ, නීතියට පිටින් ගිහින් හෝ එම ළමයා පාසලට ඇතුලත් කර ගන්නා ලෙසයි. 

''මේක හරිම අසාධාරණයි. වදුරඹ විද්‍යාලය මෙම වසරේ ඉල්ලීම් කරපු ආසන්නම ළමයා දැන් ඉන්නේ තාම ගෙදර. දැන් විදුහල්පතිතුමා හරි කවුරු හරි දන්නවනම් මේ දරුවා ඉන්නේ මෙතන කියලා ඔය චක්‍ර ලේඛනයට යන්නේම නැතුව මානුෂිකව කල්පනා කරලා ඒ උදව්ව කරලා දෙන්න. 

ඔය ළමයා පාසලට ඇතුලත් කරගත්තා කියල ඔබතුමාගේ රැකියාව නැතිවෙන්නේ නැහැ.'' ඇමතිවරයා තවදුරටත් පවසා තිබේ.

''රජයේ නිලධාරියෙක් හැටියට මට මේකට උත්තර කියන්න ඕනේ මම අධ්‍යාපන දෙපාර්තුමේන්තුව නිකුත් කරපු චක්‍රලේකනයට පරිභාහිරව කිසිම ළමයෙක් පාසලට ඇතුලත් කරගෙන නැහැ. එයාගේ ඔප්පුව වසර 5ක් පරණ නැහැ. එක පත්තීරුවෙනුත් ප්‍රකාශ වෙනවා ඔප්පුවෙනුත් ප්‍රකාශ වෙනවා. ඒක නිසා මට ලකුණු දෙන්න බැහැ. '' එහිදී විදුහල්පතිවරයා අවධාරණය කර තිබේ.

''මම නම් මහින්දෙට '4-5ක් දා ගත්තා'' - මුතුහෙට්ටිගම කියයි 

එම රැස්වීමට සහභාගිව සිටි නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත්තේ, තමා ගාල්ල මහින්ද විද්‍යාලයට මෙවර හතර පස් දෙනෙකු දමා ගත් බවයි.

''විදුහල්පතිතුමා ඔබතුමා මේ වගේ තැන්වල අපහසුතාවයට පත්වෙන්නේ නැතුව, හෘද සාක්ෂියට එකඟව ක්‍රමවේදයක් හදලා දරුවාව පාසලට ගන්න. මොකද මමනම් වදුබර විද්‍යාලයට එකම ළමයෙක්වත් දැම්මේ නැහැ.  හැබැයි ගාල්ල මහින්ද විද්‍යාලයට ළමයි 4ක් 5ක් දාගත්තා. ''  නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා තවදුරටත් පවසා ඇත.

''ඔබතුමා මේ ළමයා ගන්නම ඕනේ.'' - නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති 

කෙසේවුවද අදාල විදුහල්පතිවරයා නීතියට පිටින් කටයුතු කල නොහැකිබව දිගින් දිගටම පැවසීමත් සමග කෝපයට පත් නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, '' ඔබතුමා මේ ළමයා ගන්නම ඕනේ. අපි දන්නවා හැමෝන්ගෙම කෙරුවාවල්. මෙතන ඕවට ලෑස්ති වෙන්න එපා.'' යයි තර්ජනය කර තිබේ.

''චක්‍රලේඛන වලට පිටින් එම දරුවාව ගන්න. ඔය ළමයා ගත්තා කියලා ඔබතුමාගෙන් කවුරුත් ප්‍රශ්න අහන්න එන්නේ නෑනේ.  මම මේ කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕන විදිය. ඕකට ඔබතුමාට විරුද්ධව පාරේ යන කවුරුත් උසාවි යන්නේ නැහැ. 

දැන් ඔබතුමා දරුවන් ගත්තා කියලා ඔබතුමාගේ රස්සා නැති වෙන්නේ නෑ. 

අපි හැමෝගේම කෙරුවාවල් දන්නවා. මේ ළමයා ගත්තා කියලා හීරේ යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ළමයා ගන්න ඕනේ මේක අපි පාර්ලිමේන්තුවේ කථා කරනවා. අපි ගාව විස්තර තියෙනවා.''  රාජ්‍ය ඇමතිවරයා දැඩිව ප්‍රකාශ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න