රෝහිතගේ සහ ප්‍රේමලාල්ගේ නඩුත් කල් යයි !

රෝහිතගේ සහ ප්‍රේමලාල්ගේ නඩුත් කල් යයි !

හිටපු  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද  (18) නියම කළේය.

සිය නීත්‍යනූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට රෝහිත අබේගුණවර්ධන චෝදනා ලැබ සිටියි.

2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින්  මෙම නඩු පැවරීම සිදුකර ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස  සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන  ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

ප්‍රේමලාල්ගේ නඩුවත් අප්‍රේල් 24ට කල් තබයි !

මේ අතර රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර  ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව දීමට ලබන අපේ‍්‍රල් 24 දින දක්වා නඩුව කල් තබන බව රත්නපුර පළාත් බද අභියාචනාධිකරණ විනිසුරු සහ රත්නපුර අංක 02 මහාධිකරණයේ වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග අද (18) විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්තේ පැවත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්‍ෂ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් දෙදෙනකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටී.

පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පසුගිය ජනවාරි 17 දින මෙම නඩුව කැදවූ අවස්ථාවේ එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරිම නඩුව විමසූ විනිසුරුවරයා පත්කරන ලෙස අගවිනිසුරුවරයාට දන්වා යවා නැවත කැඳවීම නියම කරනු ලැබීය. 

එහෙත් අදවනවිට මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් අබේරත්න වෙනුවට රත්නපුර පළාත් බද අභියාචනාධිකරණ විනිසුරු සහ රත්නපුර අංක 02 මහාධිකරණයේ වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග මහතා රත්නපුර මහාධිකරණ අංක දෙකේ වැඩබලයි.

සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා සහ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරු මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම නඩුවේ තීන්දුව දීම සම්බන්ධව පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය අගවිනිසුරුවරයාට නැවත දන්වා යැවීමට කටයුතු කරන බවද වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග සඳහන් කළේය.

පළමු සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ හර්ෂණ විජේනායක මහතා පෙනී සිටියේය. තුන්වන විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා  සමග නීතීඥ තුෂාරී සූරියාරච්චි පෙනී සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න