එයාර් බස් ගනුදෙනුව : කපිලගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8ක් නිමල් පෙරේරාගේ ගිණුමට !

එයාර් බස් ගනුදෙනුව : කපිලගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8ක් නිමල් පෙරේරාගේ ගිණුමට !

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, 'සේබර් විෂන් හෝල්ඩින්' සමාගම අයත් නිමල් පෙරේරා නමැත්තකුගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (19) හෙළි විය.

නිමල් පෙරේරා, නාමල් රාජපක්ෂට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවේ පැවැති, මේ වන විට බහා තබා ඇති මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවරුණු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකි.

ඒ අනුව, නිමල් පෙරේරාට විදෙස් ගමන් තහනමක් පැනවුණු අතර, ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක විස්තර ලබා දෙන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය.

'ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස්' සමාගමට යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් !

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණය හමුවේ කියා සිටියේ, කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක මහත්මියට අයත් ගිණුමෙන්, යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් 'ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස්' නමැති සමාගමකට එවා ඇති බවයි.එම සමාගමට ස්ථීර ලිපිනයක් නොමැති අතර, එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් සහෝදරයින් බවත් අධිකරණයේදී අනාවරණය විය.

බාල සහෝදරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අනෙක් සහෝදරයාට අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීම් කර තිබේ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව කපිල චන්ද්‍රසේන සම්බන්ධ විමර්ශන මන්දගාමී ඇයිදැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීය.

ඒ සම්බන්ධයෙන් යම් බලපෑමක් තිබේදැයි විමසු මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, එවැනි බලපෑමක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන ලෙසයි.මේ පිළිබඳව විමර්ශනය කරන ප්‍රධාන විමර්ශන නිලධාරීයා සති 2 ක් විදේශ ගතවීම නිසා විමර්ශන ප්‍රමාද වූ බව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය. 

කපිල සහ බිරිඳ ප්‍රියංකා යළි රිමාන්ඩ් !

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය ලබන 4 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ ඔවුන් ඊයේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පසුගිය 6 වනදා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ.ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කළ බව කියන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

(මූලාශ්‍රය  : newsfirst.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න