Language Switcher

V2025

විනිසුරු ගිහාන් පිලපිටිය පිළිබඳ වැ.බ. පොලිස්පති කොන්ත්‍රාත්තුව !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දූරකථන සංවාදවල යෙදීම නිසා විනිසුරු ගිහාන් පිලපිටිය යටතේ විභාග වෙමින් පැවති නඩුවලට යම් බලපෑමක් සිදුවීද යන්න පිළිබඳ සැකය මත එම විනිසුරුවරයා වැඩ තහනමට ලක්ව සිටීමේ සිදුවීම දිනෙන් දින අලුත් වෙමින් තිබේ.

විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබාදෙන උපදෙස් හා වැ.බ. පොලිස්පතිවරයා නීතිපතිවරයාට ඒ සම්බන්ධයෙන් යවන පිළිතුරු මේ සිදුවීම අලුත්වීමට හේතුවී තිබේ.

ඊට අදාල අලුත්ම ලිපිය වැ.බ. පොලිස්පතිවරයාට යොමුකර ඇත්තේ නීතිපති වෙනුවට නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස්ය. ඔහු වැ.බ. පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ 2015 ජනාවරි 01 දින සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා විනිසුරු ගිහාන් පිලපිටියගේ අංක 0777357575 දූරකථනය හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අංක 0712781811 අතර සිදුවී ඇති දූරකථන ඇමතුම් 12ක් සම්බන්ධයෙන් විස්තර ලබාදෙන ලෙසය.

එකී දූරකථන සංවාද ඇතුලත් පිටපතක් වැ.බ. පොලිස්පතිවරයාගේ විශ්ලේෂණය සඳහා ඉදිරිපත් වී ඇති බවත් , ඉන් පිටපතක් ලබාදෙන ඉදිරි නෛකික පියවර සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාප් දිලීප පීරිස් ඉල්ලා ඇත. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පවරා ඇති බී 299/ 2020 හා 42/ 2019 යන නඩුවලට අදාලවය. එම නඩුවල සැකකරුවන් වන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හා ගිහාන් පිලපිටිය විනිසුරුවරයාය.

මේ ඉල්ලීමට පෙර දිනයේ  වැ.බ. පොලිස්පතිවරයා ගිහාන් පිලපිටිය විනිසුරුවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාට යවන ලද ලිපියක් ප්‍රසිද්ධියට පත්වූ අතර එම ලිපිය ප්‍රසිද්ධියට පත්වූයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට පෙර නීතිපතිවරයා වැ.බ. පොලිස්පතිවරයාට එවූ තද ලිපියට ප්‍රතිචාරයක් වශයෙන්ය. එම තද භාෂාවේ ලිපිය ලියන්නට නීතිපතිවරයාට හේතුවී තිබුණේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සම්බන්ධයෙන් කිනම් බල ප්‍රදේශයක ඇති අධිකරණයට වාර්තා කරන්නේද යන්න  පිළිබඳව වැ.බ. පොලිස්පතිවරයා කර තිබූ විමසීමය. විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැ.බ. පොලිස්පතිවරයාට ඊට පෙර කර තිබූ දැනුම්දීම එම විමසීමට හේතුවී තිබුණි.

මේ කතාව හොඳින් තේරුම් බේරුම් කරගෙන අවබෝධ කරගැනීම සඳහා නීතිපතිවරයා වැ.බ. පොලිස්පතිවරයාට කරන ලද පළමු දැනුම්දීමෙන්ම ආරම්භය ලබාගැනීම උචිතය.

මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ජනවාරි 23 කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා අමතමින් වැ.බ. පොලිස්පතිවරයාටද පිටපතක් සහිතව ලිපියක් යවා ඇත. එයින් දැනුම්දී ඇත්තේ රන්ජන් රාමනායක හා ගිහාන් පිලපිටිය යන අය සම්යන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමේ පසු වරෙන්තුවක් ලබාගැනීමට පියවර ගෙන ඔවුන්ගේ ප්‍රකාශයක් සටහන් කර, කරුණු වාර්තා කරමින් නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට උපදෙස් දෙන බවය.

එම උපදෙස් දීම අනුව කටයුතු කිරීමට සෑහෙන කාලයක් ගන්නා පොලිස්පතිවරයා පෙබරවාරි 10 දින සහිතව නීතිපතිවරයා අමතමින් ලිපියක් යවමින් සඳහන් කරන්නේ උපදෙස් යවමින් සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් එසේ වුවද නව නීති කෘත්‍ය ආරම්භ කළ යුතු කුමන අධිකරණ බල සීමාවකද යන්න මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවයි. එහිදී වැ.බ. පොලිස්පතිවරයා සඳහන් කරන්නේ රන්ජන් රාමානායක මහතා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, රන්ජන් රාමානයක හා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අතර දූරකථන සංවාදය සිදුවූයේ කුමන අධිකරණ බල සීමාවකද යන්න විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවත්ය.

එබැවින් නව නීති කෘත්‍යය ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකද යන්න පිළිබඳව උපදෙස් ලබාදෙන ලෙස වැ.බ. පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. එම ඉල්ලීම වැ.බ. පොලිස්පතිවරයා කරන්නේ නීතිපතිවරයාගේ පළමු උපදෙස් අනුව කටයුතු නොකලේ ඇයිද යන්න පිළිබඳව පෙබරවාරි 07 දින සහිතව නීතිපතිවරයා දීර්ඝ විස්තරයක්ද සහිත එවන යළි විමසීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින්ය.

එම සිහි කැඳවීමෙන් වැ.බ. පොලිස්පතිවරයාට නීතිපතිවරයා අවධාරණය කරන්නේ මෙම විමර්ශනයේ තම උපදෙස් අනුව ගෙන ඇති නෛතික පියවර පෙබරවාරි 10 දිනට පෙර දැනුම් දෙන ලෙසට. එසේම දෙවන සැකකරු වන විනිසුරු ගිහාන් පිලපිටියගේ වරෙන්තුව සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියාදාමයට යොමු නොවීමේ හේතු කවරේද යන්න වහාම ඔහුට වාර්තා කරන ලෙසය.

ඊට පෙබරවාරි 11 දින සහිතව පිළිතුරු යොමුකරන නීතිපතිවරයා සඳහන් කරන්නේ අදාල ප්‍රශ්නගත හඬපටයේ දෙවන සැකකරුවන එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ ගිහාන් පිලපිටිය මහතා එම සංවාදය තුළදී ' නෑ ... නෑ.. මගේ වාහනය හරවන ගමන් උසාවියට ..' යනුවෙන් ප්‍රකාශ කරන බවත් ඒ අනුව එම හඬපටයට අදාල අධිකරණ බලසීමාව පැහැදිළිවම අනාවරණය වී ඇති අවස්ථාවක , නීතිපතිවරයා කරුණු විමසන තෙක් ඒ බව විමසා නොසිටීම කණගාටුවට කරුණක් බවත්ය. එසේම කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්ට අධිකරණ බලසීමාව පිළිබඳව ගැටළු සහගත තත්වයක් ඇතිවුයේ නම් ඕනෑම අවස්ථාවක තමා හෝ තම නිලධාරීන් හමුවීමටත්, දූරකථනය මගින් උපදෙස් ලබාගැනීමටත් අවස්ථාව තිබූ බව නීතිපතිවරයා සඳහන් කරයි. එසේම දින 18කට පසු අධිකරණ බල සීමාව නොදැන සිටි බව තමා විමසන තෙක් විමසා නොසිටීම හාස්‍යයට ලක්වන කරුණක් බවද නීතිපතිවරයා සඳහන් කරයි.

එසේම කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ වැඩිදුර විමර්ශන අනුව එම සැකකරුවන්ගේ දූරකථන සංවාද නුගේගොඩ හා කොළඹ ප්‍රදේශවලින් සිදුවී ඇති බැව් කරුණු වාර්තා අනුවද සනාථ වන බව නීතිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව එකී නඩුව කෘත්‍යයට අදාලව කරුණු වාර්තා කිරීමේ අධිකරණ බල සීමාවන් වශයෙන් කොළඹ හා නුගේගොඩ අධිකරණ කලාපයන් විය යුතු බවට නීතිපතිවරයා උපදෙස් දී ඇත. තවද පළමු සැකකරු වන රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයට නඩු කෘත්‍යයන් දෙකක කරුණු වාර්තා කර නඩු කටයුතු අරඹා ඇති හෙයින් මෙම නඩු කෘත්‍යයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය වෙත කරුණු වාර්තා කරමින් අධිකරණ පියවර එදිනම ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

පෙර සඳහන් කළ වැ.බ. පොලිස්පතිවරයා ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපිය කරළියට එන්නේ ඉහත නීතිපතිවරයාගේ ලිපියෙන් පසු මේ මොහොත වනවිට මෙම සිදුවීමේ අවසාන ලිපිය වශයෙන්ය. එම ලිපියේ දිනය පෙබරවාරි 08 ලෙස සඳහන් වුවද ඇත්තටම එම ලිපිය යවනු ලැබුවේ  කවදාද යන්න් දන්නේ වැ.බ. පොලිස්පතිවරයා පමණය.

එම ලිපියේ උධෘතය වන්නේ විනිසුරු ගිහාන් පිලපිටියගේ පැමිණ්ල්ල හා නීතිපතිවරයාගේ ජනවාරි 23 දින සහිත ඉහත නියෝගයය.

විනිසුරු ගිහාන් පිලපිටිය ඔහු හා රන්ජන් රාමනායකගේ හඬපටය නිකුත්වීමෙන් පසු ඔහුට මරණ තර්ජක ඇතැයි වැ.බ. පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඒ ජනවාරි 09 දින සහිතවය. දැන් ඊට 2015 - 2016 අතර කාලයේදී ගිහාන් පිලපිටිය මහතාට තිබූ බව කියන මරණ තර්ජනපයට අදාල කෙටසක්ද ඈඳී තිබේ. ඒ නිකම්ම නොවේ. එම 2015- 2016 අතර කාලයේ රන්ජන් රාමනායක මහතාගෙන් ඔහුට මරණ තර්ජන තිබූ බවදට සඳහන් කරමින්ය.

කෙසේ වෙතත් ඒ ආකාරයට මරණ තර්ජන කළ අයෙක් සමග විනිසුරු ගිහාන් පිලපිටිය කළේ යැයි කියන හඬපටය ඇසූ විට නම් දැනෙන්නේ තර්ජනය කළ අයෙකු සමග කරන දූරකථන සංවාදයක් නොව හොඳ සබඳතාවයකින් යුතු දෙදෙනෙකු අතර කරන දූරකථන සංවාදයක් ලෙසයට.

වැඩ බලන පොලිස්පතිවරයා ජනාධිපති ලේකම්වරයාට යවන එකී ලිපියේ ප්‍රධාන කරුණු වන්නේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයාගේ පැමිණිල්ල අනුව ඊට පසුදාම එනම් ජනවාරි 10 වන දින ඔහු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඒ පිළිබඳ විමර්ශන බාරදුන් බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකළ පරීක්ෂණයේදී විනිසුරු ගිහාන් පිලපිටියගෙන්, අලුත්කඩේ අධිකරණ සංකීර්ණ මුරපළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පීටී රම්‍යසිරිගෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිසි පරීක්ෂක ජේ.කේ.එල් කමල් ජයනෙත්තිගෙන්, පොලිස් සැරයන් හෙන්රි හීන්ගමගෙන්, පොලිස් සැරයන් එන්.පී.ප්‍රියදර්ශනගෙන්, විශ්‍රාමික සහාකාර පොලිස් අධිකාරී කේ.ඩී.එල්. සිරිවර්ධනගෙන්, පොලිස් කොස්තාපල් ඩී.පී.කුමාගෙන්, හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දුගෙන් හා අධිකරණ සේවා කෝමිෂන් සභාවේ හිටපු වැ.බ ලේකම් විනිසුරු ආර්.එම්.එස්.කේ. රත්නායක යන අයගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි.

එම සාක්ෂි සටහන් ගොනුවත් තමා පවත්වාගෙන යමින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීම සඳහා සුදුසු උපදෙස් ලබා ගැනීමට කමිටුවක් පත්කර ගත් බවද වැ.බ පොලිස්පතිවරයා එහි සඳහන් කරයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හා පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන එම කමිටු සාමාජිකයන්ය.

ඒ අතර කාලයේදී දේශබන්දු තෙන්නකෝන් ඔහුට පැවරූ රාජකාරිය අනුව විශ්‍රාමික පොලිස්පති එන්.කේ. ඉංලගකෝන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ සභාපති රොෂාන් ප්‍රසාද් සිල්වා, එම නීතිඥ සංගමයේ කමිටු සාමාජික සංජීව ඇන්තනි අනුරාධ, එහිම කමිටු සාමාජික කෝන්ගලගේ උත්පල සුරාජ් ගමගේ යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම ලිපියේ දැක්වේ.

ඒ අනුව එම විමර්ෂනවලදී ගිහාන් පිලපිටිය මහතාට ඉහත සඳහන් අතීත කාලයේදී තර්ජනය ඇතිවීමක් ගැන ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇති බව, ඒ නිසාම ඔහුගේ ආරක්ෂාව තරකර තිබුණ බව, හිටපු විනිසුරු තිසර රත්නායක, හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් රවීන්ද්‍ර ප්‍රනාන්දු, අලුත්කඩේ අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ඇතුලු කමිටු සාමාජිකයන්ගේ ප්‍රකාශ අනුව එකී මරණ තර්ජන ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට එල්ලවී ඇත්තේ රංජන් රාමනායකගෙන් බව අනාවරණය වී ඇති බව, එමෙන්ම ගිහාන් පිලපිටිය මහතා දුරකතන සංවාද පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුට ලැබුන උපදෙස් මත බව තහවුරු වී ඇති බව සඳහන් කර ඇත.

තවද මෙම ලිපිය ජනාධිපති ලේකම්වරයාට යොමුකරනු ලබන්නේ මෙතෙක් විමර්ශන පිළිබඳ දැනගැනීම සඳහා හා සුදුසු කටයුතු සඳහා බවද වැ.බ පොලිස්පතිවරයා එහි අරමුණ වශයෙන් සඳහන් කර තිබේ.

අහෝ වැ.බ පොලිස්පති යැයි කියන්නට සිදුවන්නේ මේ ලිපිය නිසාය. යම් විමර්ශනයක් පිළිබඳ තොරතුරක් වැ.බ පොලිස්පතිවරයා යොමු කළ යුත්තේ නීතිපතිවරයාටය. නැත්නම් අධිකරණයටය. එසේත් නැත්නම් ඉල්ලීමක් කළ විට පොලිසිය විෂයභාර අමාත්‍යංශ ලේකම්වරයාටය. පොලිසිය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයටය. එහි ලේකම්වරයා විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නය. ජනාධිපතිවරයාට රටේ කිසිදු අමාත්‍යංශයක් හෝ ආයතනයක් අයත් නැත. මරණ තර්ජන පිළිබඳ පරීක්ෂණයක ප්‍රගතිය ජනාධිපති ලේකම්වරයාට යවනු ලැබීමේ තේරුම කුමක්ද? අප පසුගිය සතියේ පෙන්වා දුන් පරිදිම වැ.බ පොලිස්පතිවරයා ඉටු කරන කොන්තරාත්තුව ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇති එකක් නිසා වීමටද පුලුවන.

මේ සිදුවීම සම්බන්ධයෙන් දැනට ඉදිරිපත්වී ඇති කරුණු අනුව පැහැදිළිවම පෙනෙන්නේ විනිසුරු ගිහාන් පිලපිටියව ආරක්ෂා කර ගැනීමේ කොන්ත්‍රාත්තුවක ප්‍රසිද්ධියේම වැ.බ පොලිස්පතිවරයා පෙනී සිටින බවය. එය තවදුරටත් තහවුරු කරමින් පෙබරවාරි 12 වන දින මෙම සිදුවීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් වරෙන්තුවක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකර තිබුණේ නැත. අදාළ විමර්ශනයේ විමර්ශන නිලධාරියා අසනීප බැවින් අධිකරණයට නොපැමිණි බව එහිදී පොලිසිය අධිකරණයට දන්වා තිබුණි. ඒ නිසාම ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට එරෙහින වරෙන්තු අධිකරණය නිකුත්කර තිබුණේ නැත.

 

ලසන්ත රුහුණගේ
අනිද්දා