ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහකොමසාරිස්වරිය වූ මිෂෙල් බැෂෙල් හමුවීමට වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබුණද මෙතෙක් ඒ සදහා අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ.
විදේශ අමාත්‍යවරයා පොහොට්ටු ආණ්ඩුවේ අළුත් යෝජනා රැගෙන අද (25) ජිනීවා බලා පිටත්ව යාමට නියමිත අතර හෙට (26) දිනයේදී ඔහු මානව හිමිකම් මණ්ඩලය ඇමතීමට නියමිත බවත් වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව මෙතෙක් සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනාවලියේ 30 -1 වගන්තියෙන් ඉවත් වීමට කටයුතු කරන බව දැනටමත් කොමිසම වෙත දැනුම් දී ඇත.
ඒ සදහා චීනය, ඉන්දියාව, රුසියාව වැනි මිත්‍ර රටවල්වලින් සහාය හිමිවනු ඇති බව ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබේ.
මේ ඉටු කරන්නේ මහින්දගේ පොරොන්දුව !
බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරිණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති කරුණු 9ක් තිබේ.
# කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
# සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
# අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
# වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
# එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
# විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම
# අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
# ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
# කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම
මේ අතර, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම ද නිර්දේශ අතර විය.
මින් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කර ඇති අතර ඇතැම් ඒවා ක්‍රියාත්මක වී නැත. දුර්වල මට්ටමින් ක්‍රියාත්මක වන නිර්දේශයන් ද පවතී.
මේ සියල්ල යෝජනා කිරීමට සහ ඊට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවට සිදුවූයේ 2009 වසරේ යුද්ධය අවසන් වූ සැනින් ලංකාවට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකී මූන් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලබාදුන් ප්‍රතිඥාව නිසාය.

