ජිනීවා මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි අධ්‍යයනයක නිරතව සිටින බව දැඩි ආණ්ඩු හිතවාදි වෙබ් අඩවියක් වන සීනිව්ස් වාර්තා කරයි.
ඊට අනූව ජනාධිපති ගෝඨාභය මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ස්වාධීනත්වයට එරෙහි තීරණ දිගින් දිගටම ගන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් විය යුතු බවට ප‍්‍රධාන පෙළේ සංවිධාන කිහිපයක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යෝජනා කර ඇති අවස්ථාවේ ය.
රජයට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් සීනිව්ස් වාර්තා කරන්නේ "තමන් ඒ ගැන දැඩිව අධ්‍යනය කරන බව ජනාධිපතිවරයා විසින් එම සංවිධාන වෙත පවසා ඇති" බවය.
පසුගිය රජය විසින් ජිනීවාහිදී සම අනුග්‍රහය දැක්වන ලද යෝජනාවලියෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය දැඩිව දොස් පවරමින් අදහස් පළ කරන ලද බවත් එම පුවතේ දක්වා ඇත.
රට ඉවරයි !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම තොරතුර බොහෝවිට සිංහල බෞද්ධ ජාතිවාදී ජන්ද ඉලක්ක කර ප්‍රචාරය කරනු ලැබුවක් විය හැකි බවයි.
ඒ හැර මෙවැනි අත්තනෝමතික තීන්දුවක් ශ්‍රී ලංකාව ගනු ලැබුවහොත් එය ජාත්‍යන්තර වශයෙන් බරපතළ ප්‍රතිවිපාක ලැබිය හැකි තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙරටට ජාත්‍යන්තර සම්බාධක පැණවීමේ සිට ණය ආධාර නැවැත්වීම , සංචාරක සම්බාධක ඇතුළු දැඩි පීඩනයක් ඇතිව රට බරපතළ ආර්ථික කඩාවැටීමකත් ලෝකය තුළ හුදෙකලා කරදමන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් විචාරකයන් පවසයි.
මෙම තත්ත්වයක් එක්වරම ඇති වන්නක් නොවන නමුත් එවැනි තත්ත්වයක් ඇති වීම අනිවාර්යයෙන් සිදුවෙන බවත් විචාරක අදහසය.
එසේම රට තුළ කිසියම් ආකාරයට මානව අයිතිවාසිකම් ආරක්ෂාවී ඇත්තේ ජාත්‍යන්තර සංවිධාන සමග ඇති සම්බන්ධතා, ගිවිසුම් සහ ප්‍රතිඥා නිසා බවත් එවැනි බැඳීම් නැතිකර ගැනීම ජනසමාජය අනාරක්ෂිත වීමට හේතු වන බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කර සිටියි.