''උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතුයි'' : මෛත්‍රීගේ 'උකුසු කතාවට' පොහොට්ටුවෙන් දැඩි ප්‍රහාරයක් ! - 'ස්ටේජ්' නැග්ගොත් 'හූ' කීමටත් සුදානම් !

''උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතුයි'' : මෛත්‍රීගේ 'උකුසු කතාවට' පොහොට්ටුවෙන් දැඩි ප්‍රහාරයක් ! - 'ස්ටේජ්' නැග්ගොත් 'හූ' කීමටත් සුදානම් !
මීළඟ මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන රට වෙනුවෙන් කැපවන පුද්ගලයන් පාර්ලිමේන්තුව එවීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද ‘උකුසු කතාවට’ ප්‍රතිචාර දක්වමින්, ඔහු මේ බව කියා සිටියේ ප්‍රසිද්ධ රැස්වීමක් අමතමිනි.
 
උකුස්සක් රජ කරන්දී කොරෝනා ආවානම් හැසිරෙන ආකාරය බලාගන්න තිබූ බවත් පාස්කු ප්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වලක්වා නොගෙන බකන් නිලාගෙන සිටි බවත් ඔහු එහිදී සඳහන් කළේය.
 

1583109942 02.03.2020

 
 
දියකාවෙක් අමාරුවෙන් අල්ලා ගන්නා මාළුවෙක් කා දැමීමට සූදානම් වෙද්දීම උකුස්සෙක් පැමිණ එය ඩැහැගෙන ගිය බවත් තමන්ද ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා දිනයේ (මාර්තු 01) පොලොන්තුරුවේ පැවති රැස්වීමක දී කියා සිටියේය.
 
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරීන් අතර දැඩි විරෝධයක් හටගෙන තිබේ.
 
ඔවුන් සමාජ ජාල ගිණුම ඔස්සේ විශාල ප්‍රචාරයක් ගෙනයමින් පවසා ඇත්තේ මීළඟ මැතිවරණයේදී ‘උකුස්සන්’ සියලූ දෙනා පරාජය කළ යුතු බවයි.
 
මෛත්‍රීපාල සිරිසේන ව්‍යාංගයෙන් කියා ඇත්තේ, නිසි වේලාව පැමිණි පසු බලය පැහැර ගැනීමක් ගැන නිසා ඒ ගැන දැඩිව කල්පනාකාරීව සිතට ගත යුතු බවද ඔවුන් අවධාරණය කර තිබේ.
 
''ශ්‍රීලනිප අපේක්‍ෂකයන්ට වැලේ වැල් නැති කළා'' - ලංකා සී නිව්ස් 
 
''මේ අතර 'පොහොට්ටු' පක්ෂයට හිතවත් 'ලංකා සී නිව්ස්' වාර්තා කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොහේවත් යන උකුසු කතාවක් කියා ශ්‍රීලනිප අපේක්‍ෂකයන්ට වැලේ වැල් නැති කල බව ශ්‍රී ලනිප ප්‍රබලයෙක් සදහන් කළ බවයි.
 
හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක උකුසු ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියෙකු සමග කණගාටුව පල කරමින් එම ශ්‍රී ලනිප ප්‍රබලයා මේ බව කියා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
 
එම පුවත් වාර්තාවට අනුව, සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශය හේතුවෙන් ශ්‍රීලනිප අපේක්‍ෂකයන්ට පොහොට්ටුවෙන් ලැබෙන මනාප සංවිධානාත්මක ලෙස අඩු කිරීමට කටයුතු නොකරන්නැයි ඔහු පොහොට්ටුවෙන් ඉල්ලා තිබේ.
 
මෙම ප්‍රකාශය වැරදීමක් බවත් ඒ ගැන කණගාටුව පල කරමින් හිටපු ජනාධිපතිවරයා ලවා යළිත් ප්‍රකාශයක් කරවීමට උත්සාහ කරන බවද ඔහු දැනුම් දී ඇත.
 
කෙසේ නමුත් පොහොට්ටුවේ පාක්ෂිකයන් සහ ක්‍රියාකාරීන් ස්වාධීනව සිදුකරන ලෙස කටයුතු සම්බන්ධයෙන් තමන්ට මැදිහත් විය හැක්කේ සීමාවක් තුල පමණක් බවත් මෙම පක්‍ෂය හැදුනේ පොදු මහ ජනතාවගෙන් නිසා එයට අවනත වීමට තමනටද සිදුවන බවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයා අවධාරණය කර ඇත.''
 
මැතිවරණ වේදිකාවට ආවොත් 'හූ' තමයි !
 
මෙවැනි තත්වයක් යටතේ හිටපු ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලනිපය නියෝජනය කරන අපේක්ෂකයින් 'පොහොට්ටු' වේදිකාවට ගොඩවුවහොත් අනිවාර්යයෙන් ම බලවත් විරෝධයක් මතු විය හැකි බවත්, ජනාධිපතිවරණ සමයේ දී මෙන්ම 'හූ' සංග්‍රහ ලැබීමට පවා ඉඩක් ඇති බවත් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු ශ්‍රීලනිප නායකයින්ට අනතුරු හඟවා ඇත.
 
ඒ අනුව ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවෙන් පිට කිසිඳු වේදිකාවකට එක්කර නොගන්නැයි ද ඔහු ශ්‍රීලනිප නායකයින් ගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න