මතුව ඇති පක්ෂ මත ගැටුම් හමුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් සිය මහලේකම් ධූරය අතහැරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ඊයේ (03) පක්ෂයේ ජේෂ්ඨයින් කිහිපදෙනෙකු සමඟ පැවති සාකච්ඡාවකදී තමන් මහලේකම් ධූරයෙන් ඉවත්වීමට කටයුතු කරන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා ඇති බවයි.
කෙසේවෙතත් ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳව මෙතෙක් වාර්තා වන්නේ නැත.
රන්ජිත් මද්දුම බණ්ඩාර කරූ හමුවෙයි !
මේ අතර ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා 'සමගි ජන බලවේගය' අතර පවතින අර්බුදය නිමා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර ගන්නැයි, 'සමගි ජන බලවේගය' මහ ලේකම්, හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු කතානායක කරූ ජයසුරිය හමුවී ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වෙයි.
රංජිත් මද්දුම බණ්ඩාර සහ කරූ ජයසූරිය අතර එම හමුව සිදුව තිබෙන්නේ පසුගිය දෙවනිදායි (02).
කරු ජයසුරිය එජාප නායකයා වන්නේ නම් යලිත් එක්ව වැඩ කිරීමට සුදානම් බව එහිදී මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.
එසේම සජිත් ප්‍රේමදාස නායකත්වය දරන ‘සමගි ජන බලවේගය’ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ලිඛිතව දැනවීමටත් රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කටයුතු කර තිබෙන අතර එම ලිඛිත දැනුම්දීම ඊයේ (03) සිදුකර තිබේ.
තවද ‘සමගි ජන බලවේගය’ නිල ඡන්ද ලකුණ ලෙස දැනට ලියාපදිංචි වී ඇති ‘දුරකථනය’ ඉදිරි මහ මැතිවරණය සඳහා යොදා ගන්න බව අද දිනයේ දැනුම් දීමට නියමිත බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අර්බුදය තවදුරටත් වර්ධනය වන තත්ත්වයකුයි පෙනෙන්නට ඇති අතර එක් පසෙකින් සමඟි ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් වෙනම තරග කිරීමට කටයුතු කරන පසුබිමේ එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට දන්වා ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට 'අලියා' ලකුණ යටතේ ඉදිරිපත්වීමට අදාළ නාමයෝජනා ලැයිස්තු සකසන ලෙසය.
මංගල - මලික් උත්සාහය වතුරේ ?
එසේම සමගි ජන බලවේගයේ 'ලකුණ' සම්බන්ධයෙන් රනිල් පාර්ශවය හා සජිත් පාර්ශවය අතර මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට මංගල සමරවීර හා මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ දිනයේද රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස සමග වෙන වෙනම සාකච්ජා පවත්වා ඇති නමුත් දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිවීම හමුවේ එම සාකච්ඡාවත් අසාර්ථක වී ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වුවත් මෙම මතභේදාත්මක තත්ත්වය විසදීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් මැදිහත්කරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පත් කර ඇති අතර ඔහු ඊයේ 'සමගි ජන බලවේගයේ' නායක සජිත් ප්‍රේමදාස මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවේ දෙවන අදියර ලෙස අද (04) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මුණ ගැසීමට නියමිත බවත් වාර්තා වෙයි..
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කර සිටින්නේ පවතින නීතිමය තත්ත්වය අනුව එක්සත් ජාතික පක්‍ෂයට 'සමගි ජන බලවේගය' සමග එක්වීමට මෙතෙක් හැකියාවක් නොමැති බවයි.
එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණයට තනිව තරග වැදුණහොත් එය එක්සත් ජාතික පක්‍ෂයට දැඩි අවාසියක් වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් සෙනෙවිරත්නගේ අදහස වී ඇත.

