ඇය දිරිමත් වුවත් “රට සවිමත්” කිරීමට ඇයට අවස්ථාවක් නෑ !

ඇය දිරිමත්  වුවත් “රට සවිමත්” කිරීමට ඇයට අවස්ථාවක් නෑ !

පවතින දේශපාලන වාතාවරණය තුළ කාන්තා නි‍‍යෝජනය පළාත් පාලන ආයතනවලට සීමා කර අසරණ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පෙන්වා දෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී  25% ක කාන්තා නියෝජනය අනිවාර්ය සාධකයක් වූ නමුත් ඉදිරි  මහ මැතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට එලෙස කාන්තා කෝටාවක් ප්‍රකාශයට පත් කර නැති බවයි.

මේ නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ කාන්තාවන්ගේ ඉදිරි දේශපාලන ගමන ගැටළුකාරී වී ඇති බව ඇගේ අදහසයි.

වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය ගත හොත් ආසන 225ට ම කාන්තාවන් සිටින්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් බව පෙන්වා දෙන ඇය සඳහන් කරන්නේ මෙරට ප්‍රධාන ආර්ථික බලයේ ප්‍රමුඛතම සාධකය වන කාන්තාවට මෙරට දේශපාලනය සඳහා සම්බන්ධ වීමට ඇති අවස්ථාව හීන වී යාම බරපතල තත්වයක් බවයි. 

මේ නිසා මෙවර මහමැතිවරණයට නාම යෝජනා සැකසීමේදී එම නාම යෝජනා ලැයිස්තුවල යම් ප්‍රතිශතයක් කාන්තාවන් සඳහා වෙන් කිරීමේ සදාචාරාත්මක හැකියාවක් දේශපාලන පක්ෂ නායකයින්ට ඇති බව පෙන්වා දෙන ඇය සඳහන් කළේ ඒ සඳහා වන උනන්දුවක් ප්‍රධාන දේශපාලන පක්ෂ වල දක්නට නොමැති බවයි.

වර්තමානයේ මෙරට ආර්ථිකය සවිමත් කරන  සවිමත් කරන ප්‍රධානතම සාධකය කාන්තාව බව පෙන්වා දෙන සුරංගි ආරියවංශ මෙරට වැඩිම විදේශ විනිමය උපයන අරාබි රටවල ගෘහ සේවයේ වැඩි වශයෙන් නිරත වන්නේ කාන්තාවන් වන අතර මෙරට තේ කර්මාන්තය රබර් කර්මාන්තය ඇඟලුම් කර්මාන්තය ආදී ඉහළ ආදායම් ලබා දෙන කර්මාන්ත සියල්ල කාන්තාවන්ගේ ශක්තියෙන් ගොඩ නැගී ඇති බව කියා සිටියි.

එමෙන්ම මෙරට ඡන්ද ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රතිශතය වන්නේ ද කාන්තාවන් බව පෙන්වා දෙන ඇය සඳහන් කරන්නේ   දශක ගණනාවක් තිස්සේ මෙරට කාන්තාවට හිමි තැන සමාජීය හා දේශපාලන බලවේග විසින් අහිමි කර ඇති බවයි.

ගෘහස්ථ හිංසනයට පත්වන කාන්තාවන් පිළිබඳව,පොදු ප්‍රවාහන ප්‍රවාහන සේවා වල දී අතවරයට පත්වන කාන්තාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවකාශයක් නො වීම බරපතළ තත්ත්වයක් බවද  සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කරයි. කාන්තාවන්ගේ ගැටලු නිවැරදිව හඳුනා ගැනීමට එදා මෙදා තුර බලයට පත් වූ කිසිදු රජයක් සමත් ව නොමැති බව කණගාටුවෙන් වුව කිව යුතු බවත් බොහෝ රජයන් බල කාන්තා කටයුතු අමාත්‍ය ධූර පවා පිරිනැමුණේ පුරුෂ පාර්ශවයට බවත් ඇය පෙන්වා දෙයි.

 "ඇය දිරිමත් රට සවිමත් "යන තේමාව යටතේ ඒ ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ දී  සත්‍ය වශයෙන්ම ඇය දිරිමත් කිරීම සඳහා සමාජීය සංස්කෘතික හා දේශපාලන බලවේග විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව කිව යුතු යැයි ද ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි. ඇය දිරිමත් වුව හොත් රට සවිමත් වන බව සැබෑවක් බවත්  ගැටලුව ඇත්තේ ඇය දිරිමත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් නොමැති වීම බවත් සුරංගි ආරියංවශ පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න