නාම යෝජනා ලැයිස්තුවේ සහ ජාතික ලැයිස්තුවේ කාන්තා නියෝජනය 25% කරන්න ඉල්ලීමක් !

 නාම යෝජනා ලැයිස්තුවේ සහ ජාතික ලැයිස්තුවේ කාන්තා නියෝජනය 25% කරන්න ඉල්ලීමක් !

රටේ නීති කෙටුම්පත් කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට දේශපාලන පක්ෂ නායකයන් සිය දිස්ත්‍රික් නාමයෝජනා ලබා දීමේ දී වෘත්තීය හා සමාජ ක්‍රියාකාරිනී කාන්තාවන් සදහා වැඩි ඉඩක් ලබාදීය යුතු බව හා නම් කළ මන්ත්‍රී ලැයිස්තුවෙන් ද 25%ක නියෝජනයක්වත් ලබා දීමට කටයුතු කරනා ලෙස අභිමානී කාන්තා ව්‍යාපාරය ඉල්ලයි.

අභිමානී කාන්තා ව්‍යාපාරයේ සභාපතිනී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරාළ මේ ඉල්ලීම සිදුකළ අතර ඒ ඊයේ (08)  පන්නිපිටිය ජාතික හෙළ උරුම කාර්යාලයේ දී  පැවැති මාධ්‍ය හමුවේදීය.

ජගත් කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේ දී සියලු ම දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කරමින් යවන ලද ලිපියක් ඉදිරිපත් කළ අතර එම ලිපිය පහත දැක්වේ.

සියලූම දේශපාලන පක්ෂ නායකයන් වෙත,
ගරු පක්ෂ නායකතුමනි,

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහාකරනු ලබන ඉල්ලීමයි.

ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙවන් මොහොතක ශ්‍රී ලාංකික සමාජය ලෙස එක් අතකින් සතුටුවිය හැකි මට්ටමේ ප‍්‍රගතියක් කාන්තාව තුළ අප ඇතිකරගෙන තිබේ. දේශපාලනික වශයෙන් ගත් කල්හි ලොව පළමුවෙන් ම කාන්තාවට ඡුන්දබලය ලබාදුන් රටක් වීමත්, ලොව පළමු අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවීමත් ඒ ප්‍රගතිය කියාපාන සාධක වී තිබේ. 

එසේම අප රට තුළ රාජ්‍ය අංශයේ කාන්තාවගේ නියෝජනය සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති අතර ග්‍රාමසේවා නිළධාරිණියගේ පටන් අමාත්‍යංශ ලේකම් ධුරය දක්වා බහුතරයක් විධායක තනතුරු කාන්තා පාර්ශවය විසින් අත්කරගෙන සිටිති. රටක් ලෙස සෑම ක්ෂේත්‍රයකම කාන්තාව වැඩි නියෝජනයක් ලබා ගෙන තිබීම සතුටු විය යුතු කරුණකි. එහෙත් ලාංකික සමාජය තුළ ඇයට බලපාන ඇතැම් ප්‍රශ්නවලට ස්ථිරසාර විසදුම් සෙවීමට නොහැකී වීමට ප්‍රධානම බාධාව වී ඇත්තේ රටේ නීති කෙටුම්පත් කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අවම මට්ටමක පැවතීමයි. 

එකී තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරන එමෙන් ම මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවන් මොහොතක කාන්තාවන් සඳහා පාර්ලිමේන්තුව තුළ පවතින නියෝජනය වැඩිකිරීම කාලෝචිත ක්‍රියාවක් බව අපගේ විශ්වාසය වන අතර ඒ සඳහා ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර තිබු කාන්තාවන් සඳහා නම් කළ මන්ත්‍රී ලැයිස්තුවෙන් 20%ක් වෙන්කිරීමට අදාල යෝජනාව ද සැලකිල්ලට ගන්නා ලෙස දන්වනු කැමැත්තෙමු.

එමෙන් ම අපට අද අවශ්‍යව ඇත්තේ කාන්තා ප්‍රශ්න සෘජු ලෙස සාකච්ඡාවට හා විසදුම් සෙවීමට ශක්‍යතාවය ඇති ගුණාත්මක කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ඇති කර ගැනීමටයි. දැනටමත් පලාත් පාලන ආයතනවල කාන්තාවන් 25‍%ක නියෝජනයක් ඇතිකර ඇති මෙවන් පසුබිමක එළැඹෙන මහමැතිවරණයේ දී ඔබතුමන්ගේ දේශපාලන පක්ෂයෙන් වෘත්තීය හා සමාජ ක්‍රියාකාරී කාන්තාවන් සදහා නාමයෝජනා ලබා දීමට ද, ජාතික ලැයිස්තුවෙන් (නම් කළ මන්ත්‍රී) පත්කිරීම් සිදුකිරීමේ දී ද වැඩි ඉඩක් කාන්තාවන්ට ලබා දීමට ද කටයුතු කරනා ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම කාන්තා නියෝජනය විහිලුවට ලක්වන ලෙස නොව එය ගුණාත්මක ලෙස උපයෝගීකර ගත හැකිවන පරිද්දෙන් සිදුකරනා හැටියට ද ඔබ පක්ෂ නායකත්වයෙන් අප ඉල්ලා සිටීමට කැමැත්තෙමු. 

ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන අදවන් දිනක ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස අප ඉල්ලා සිටිනුයේ එයයි.
මෙයට,

නිරෝෂා අතුකෝරාළ

සභාපතිනී

DSC 2352

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න