අතුරුදහන් දරුවන්ගේ මව්වරුන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි !

අතුරුදහන් දරුවන්ගේ මව්වරුන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි !

අතුරුදහන් දරුවන් ඉල්ලා හඩා වැලපෙන උතුරේ මව්වරුන් දස අවුරුද්දකට වැඩි කලක් නොලද යුක්තිය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා  ජගත් කාන්තා දිනයේ උතුරේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

මුලතිව් සෙල්වපුරම් සිට දිසා ලේකම් කාර්යාලය දක්වා 2020 මාර්තු 08 ඉරිදා  පා ගමනින් පැමිණි අතුරුදහන් වුවන්ගේ මව්වරුන් ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වැනි සැසිවාරය සදහා ඉදිරිපත් කිරීමට සන්දේශයක් බාර දෙමින් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයක් පැමිණවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරන ලෙසයි. 

සිය ගණනක් මව්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් අවධාරණය කර තිබුනේ අතුරුදහන්ව සිටින සිය සමීපතමයන් ඉල්ලා  ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට වසර තුනක් සපීරීමද මෙම විරෝධතාවය දියත් කිරීමට තවත් එක් හේතු සාධකයක් වු බවයි.

විරෝධතා ව්‍යාපාරයේ රැගෙන ගිය බැනරයක සටහන් කර තිබුනේ අඛණ්ඩ උපවාසයට මාර්තු 08 දිනට දින 1097 ක් සම්පුර්ණ වන බවයි.

උද්ඝෝෂණය අතරතුරදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වු සබීතා රදීස්වරන් සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටියේ යුද්ධයේ අවසානයට කලින් දවසේ යුද හමුදාව  වෙත බාර දුන් වයිරමුත්තු රදීස්වරන් මේ දක්වා ආගිය අතක් නැති  බවයි.

ඔහු සමග තවත් 150 ක පමණ පිරිසක් බස් රථයකින් රැගෙන ගිය බවද ඇය වැඩි දුරටත් සදහන් කළ ඇය ඒ සැමදෙනා සොයා දීමේ වගකීම ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බව අවධාරණය කළාය.

“දවසක් හරි ගෙදරට කවුරුත් ඇවිල්ලා නැත්නම් ඔයාලා කොච්චර දුක් වෙනවාද? අපි අවුරුදු 10 ක් තිස්සේ දුක් විඳ විඳ පාරේ ඇවිදිනවා. අපි ගැන චුට්ටක්වත් හිතලා බලන්න,” යි සබීදා රගීස්වරන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආන්ඩුවෙන් ඉල්ලා සිටියාය.

ජනපතිගේ ප්‍රතිචාරය :

කෙසේ නමුත් මෙම උද්ඝෝෂණය දියත් කිරීමට දින තුනකට ඉහතදී අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය විමසා සිටි දෙමළ මාධ්‍ය වේදියකුට ඔහු විසින් අතුරුදහන් වීම ලෙස හඳුන්වා දෙනු ලැබුවේ “යුද පිටියේදී මියගිය අයගේ සිරුරු ඥාතීන්ට හමු නොවීම” යි.

අතුරුදහන් වීම් පිළිබඳ සුවිශේෂ සිදුවීම් තිබෙන බව පිළිගත් ජනාධිපති රාජපක්ෂ, ඒ සම්බන්ධ වගකීම යුද හමුදාව හෝ ආණ්ඩුව විසින් භාරගැනීම එහිදී  ප්‍රතික්ෂේප කර තිබුනි.

“විශේෂ සිදුවීම් අරගෙන ඒක ජෙනරලයිස් කරන්න හදනවනේ. එතන තමයි මේකේ වැරැද්ද තියෙන්නේ.”
යුද බිමේදී මියගිය හමුදාවේත්, එල්ටීටීඊයේත් මිය ගිය සෙබළුන්ගේ මෘත ශරීර ඥාතීන් අතට පත් නොවීම අතුරුදහන් වීම් ලෙස ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා යුද සමයේදී ආරක්ෂක අංශ වලට භාර වීමෙන් පසුත්, දිවයිනේ විවිධ තැන වලින් පැහැර ගැනීමෙන් පසුත් අද වනතුරු සොයා ගන්නට නැති දස දහස් සංඛ්‍යාත ජනකාය සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටියේය.

පිළිතුරු නොලබාම මියයෑම :

 ''අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් රැස්කරන ලද තොරතුරු අනුව යුද සමයේ උතුරු නැගෙනහිර අතුරුදහන් පිරිස විසි දහසකි.ඉන් වැඩි දෙනෙක් අතුරුදහන් වී ඇත්තේ යුද්ධාවසානයේ රජයේ ආරක්ෂක අංශ වෙත භාර වීමෙන් අනතුරුවයි.''
 

මේ අතර දශකයකටත් වැඩි කලකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන්ගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් වසර තුනක කාලයක් අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත දෙමළ මවුපියවරුන් විශාල පිරිසක් පිළිතුරු නොලබාම මියගොස් තිබේ.

යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් තම ඥාතීන් සොයමින් අවුරුදු තුනක් තිස්සේ  උතුරු නැගෙනහිර අරගලයේ යෙදී සිටින්නන්ගේ මුල් පෙලේ නියෝජිතවරියක් පසුගියදා  ජිනීවා නුවරදී හෙළිකළ පරිදි මේ වනවිට මියගොස් ඇති ගණන හැත්තෑවකට ආසන්නය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න