ඉන්ධන මිල සහනය වෙනුවට : හෙජිං සූදුව යළිත් !

ඉන්ධන මිල සහනය වෙනුවට : හෙජිං සූදුව යළිත් !

මේ වන විට ලෝක වෙළඳපොල තුළ බොර තෙල් බැරලයක මිල විශාල වශයෙන් අඩුවුවත් එහි වාසිය ජනතාවට ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැති පසුබිමේ යළිත් ඉන්ධන සම්බන්ධව හෙජිං ගිවිසුමකට යාමේ සූදානමක් පවතී.

මේ බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, "අද තිබෙන මිලට ඉන්ධන එන්න කාලයක් යන බවය.,එනිසා  හෙජිං වගේ ගිවිසුමකට යන්න, හෙජිං වගේ, හෙජිං කිව්වත් වැරද්දක් නෑ, ඒ වගේ ගිවිසුමකට යන්න යෝජනා කරන බවය.

සභාපති වේලාසන මුට්ටිය දැම්මා !

මේ පසුබිමේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එම්.යූ. මොහොමඩ්ද  පවසා සිටින්නේ  මෙවැනි අවස්ථාවක දී තෙල් මිල අඩුවීමේ වාසිය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව හෙජිං ගිවිසුමක් කරා යා යුතු බවය. 

සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ දෙරණ වෙබ් අඩවිය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී දෙරණ විමසා සිටින්නේ  "මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් පහළ යන පසුබිමක එහි වාසිය ශ්‍රී ලාංකික ජනතාවට ලබා දිය හැකිද?" යනුවෙන්ය.

ඊට සභාපතිවරයා දක්වන ප්‍රතිචාරය මෙසේය. 

(උපුටා ගැනීම - දෙරණ වෙබ් අඩවියෙනි)

“මේ අවස්ථාවේ දී රජයටත් රජයේ ඉහළ නිලධාරීන්ටත් මම කියන්නේ, මගේ අදහස වෙන්නේ අපි හෙජිං එකකට යන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ මිල පරාසයත් පහළ මිල පරාසයත් අතර හෙජිං එකකට ගිහිල්ලා, ඒ හෙජිං එකෙන් ලැබෙන වාසිය ජනතාවට ලබා දෙන්න ඕනේ.“

“අද තෙල් බැරලයක මිල බ්ලූම්බර්ග් වාර්තාවන්ට අනුව ඩොලර් 29, 30, 31 ට යනවා. සති දෙකකට කලින් මෙය 54 ක් තිබුණේ. මේ මිල තවත් අඩුවෙනවා කියලා කියනවා. ඔපෙක් රටවල් සහ රුසියාව අතර තිබෙන මතභේද මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය මන්දගාමී වීම නිසා ඉල්ලුම අඩුවෙලා තිබෙනවා. ඉල්ලුම අඩුවීම කෙටිකාලීන දෙයක් වෙන්න පුළුවන්. බ්ලූම්බර්ග් කියනවා තෙල් මිල ඩොලර් 20 දක්වා පහළට යයි කියලා.“

“රටක් ලෙස අපි ක්‍රමයකට එන්න ඕනේ. හෙජිං එකකට ගිහිල්ලා, උපරිම සහ අවම මිල පරාසය තීරණය කරලා, ඒ තුළ අවුරුදු 2,3 කට මිල දී ගැනීමට ව්‍යාපෘතියක් වහාම අනුගමනය කළ යුතු බව තමයි මගේ බලාපොරොත්තුව. එතකොට තමයි අපිට ලාබෙට පැට්‍රොල් එන්නේ, එතකොට තමයි අපිට ජනතාවට ලාබෙට පැට්‍රොල් ලබා දෙන්න පුළුවන්.“

(උපුටා ගැනීම අවසන් )

තෙල් මිල සූත්‍රය තිබුණා නම් ජනතාවට ලැබෙන සහනය මෙන්න - මංගල

MS Oilprice 2020.03.11

මේ වන විට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇත්තේ යහපාලන ආණ්ඩු සමයේ හඳුන්වාදුන් ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක කළා නම් ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබාදිය හැකි බවය. හිටපු මුදල් ඇමති පසුගිය 10 වනදා නිකුත් කළ විශේෂ ප්‍රකාශය අනුව නම් මේ වන විට බොර තෙල් බැරලයේ මිල පහල ගොස් ඇති ආකාරය අනුව  පෙට්‍රල් ලීටරයක් රුපියල් 107.00 ක්  සහ ඩීසල් ලීටරයක් රුපියල් 74.00 ක්  තරම් අඩු මිලකට ලබාදීමේ හැකියාව ඇත.

එසේම එහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල ගොස් ඇති පසුබිමක මේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට දුන්නා නම් එය මේ වන විට ඉහළ ගොස් ඇති  ජීවන වියදම වෙනුවෙන්ද සහනයක් ලබාදෙන්නක් බවය. 

එසේම විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන් ගණනාවක් අවස්ථා කිහිපයකදීම ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකිරීම ගැන ප්‍රශ්න කර ඇත. 

මේ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මීට පෙර පවසා සිටියේ ජනතාවට සහන දෙන්න එජාප උපදෙස් අනවශ්‍ය බවය. එසේම ආණ්ඩු පාර්ශවයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද මාධ්‍ය හමුවේ පවසා සිටියේ නියමිත වෙලාවට ඉන්ධන මිල සහනය ජනතාවට දෙන බවය.

ඉන්ධන මිල සූත්‍රය !

යහපාලන ආණ්ඩුව හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මාසයකම ඉන්ධන මිල ලෝක වෙළඳ පොළේ මිලට සමගාමීව ඉහළ පහළ යැවීමක් සිදුවූ අතර ඒ මිල ඉහළ ගිය කිසිඳු අවස්ථාවක එය සිදුකලේ ජනතාව පීඩාවට පත්වන ආකාරයට නොවේය. එහිදී ආණ්ඩුව වැඩිවන තෙල් මිලෙන් ඉතා සුළු වැඩිකිරීමක් සිදුකල අතර ඒ ඉන්ධන වෙනුවෙන් ගෙවන මිල සමස්ථ ආර්ථිකයට බලපෑමක් නොවීම සඳහාය. ඉතිරි වැඩිවීම් කළමනාකරණය කර ගන්නට ආණ්ඩුව කටයුතු කළේ ජනතාව වෙත සෘජු පීඩනයක් ඇති නොවීම සඳහාය. ජනතාව ගැන සිතා ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන ජනතාවාදී ආණ්ඩුවක ලක්ෂණය විය යුත්තේද එයයි.

හෙජිං සූදුව යළිත් !

නමුත් අමාත්‍ය මහින්ද අමරවීර සිදුකළ හෙජිං ගිවිසුමකට යාමේ යෝජනාව ඔප්පු කර ඇත්තේ කුමක්ද ? ඒ ඉන්ධන මිල සහනය ජනතාවට ඒ මොහොතේ ලබාදීම වෙනුවට අවධානම් සහගත හෙජිං ගිවිසුම නැවත ගෙන ඒමට යන බවය. ඒ නිසාම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ හෙජිං ගිවිසුම ගැන මෙහිදී සිහිපත් කිරීම අත්‍යවශ්‍යය.

මහින්ද සමයේ හෙජිං ගිවිසුම !

hedging

2006 සැප්තැම්බර් 06 දින මහබැංකු අධිපති හෙජිං ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කල අතර 2006 ඔක්තෝබර් 19 වනදා  කැබිනට් තීරණයෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර විසින් මෙම ගිවිසුම අධ්‍යයනය කිරීමේ කමිටුවක් පත්කළේය. එම කමිටුවේ වාර්තාව මත පදනම්ව 2007 ජනවාරි 31 දින  එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුමැතිය ලද අත්සනින් පසුව ක්‍රියාවට නැගිණ. 

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, සිටි බැංකුව සහ ඩොයිෂ් බැංකුව සමග 2008 වර්ෂයේ හෙජිං ගිවිසුමට එළඹියේය. එම ගිවිසුමේ ආකාරයට බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 ට වැඩිවෙන්නේ නම්, ඒ වැඩිවන මුදල අදාළ මූල්‍ය ආයතනය මගින් සංස්ථාවට ගෙවිය යුතුවූ  අතර අදාළ මිල ඊට අඩු වුවහොත් සංස්ථාව විසින් එම මුදල අදාළ මූල්‍ය ආයතන වෙත ගෙවිය යුතුය.

එදා ඩොලර් 64 ක් වූ ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල  2008 ජූලි වන විට ඩොලර් 146 දක්වා ඉහළ ගියේය. එහිදී මහින්දගේ ආණ්ඩුව සළකා බැලුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළයාම පමණය. ඒ හැර  හෙජිං ගිවිසුම හරහා ඇතිකර ගනු ලබන ගනුදෙනුවේ අවධානම සැළකිල්ලට ගත්තේ නැත. 

හෙජිං ගිවිසුමක් යනු කුමක්ද ?

සරලව පැවසුවහොත් හෙජිං කියන්නේ අනාගතයේදී ඇති වියහැකි විදේශ විනිමය අවදානම අවම කර ගැනීම වෙනුවෙන් තවත් පාර්ශවයක් සමඟ ඇතිකර ගන්නා ගිවිසුමක්ය. එහිදී මුලික අවධානය යොමුවිය යුත්තේ සහ එවැන්නක පදනම සකස් විය යුත්තේ  කවර පාර්ශවයකට හෝ  අධික ලාභයක් හෝ අලාභයක් ඇති නොවීමටය. ඒ පදනමින් හෙජිං යනු බිල්ලෙක් නොවන අතර එය ශාපලත් බිල්ලෙක් බවට පත්වන්නේ ඉහත කොන්දේසිය උල්ලංඝනය වන ආකාරයට ගිවිසුම් ගතවුවහොත්ය. අවාසනාව කියන්නේ මහින්ද සමයේ අත්සන් කළ ඒ හෙජිං ගිවිසුමේ එවැනි මුලික පදනමක් නොමැතිවීමය. අවසානයේ සිදුවුයේ වෙළඳ පොළ වෙනස්වීම හමුවේ අධික අලාභයක් ලැබීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදුවීමය.

එදා මේ ගිවිසුම පිළිබඳ වගකීම එවකට තෙල් සංස්ථාවේ සභාපතිවූ අසන්ත ද මෙල් හෝ එවකට විෂයභාර අමාත්‍ය වූ ඒ.එච්.එම්. ෆවුසි ගත්තේ නැත. අවසානයේ ආණ්ඩුව ඒකපාර්ශවිකව ගිවිසුමෙන් ඉවත් විය. එය පැහැදිළි ලෙස පිළිගත් ගිවිසුමක් උල්ලංඝනය කිරීමක් වූ අතර වඩාත් එහි ප්‍රතිඵලය වුයේ  ලංකා රජය සමඟ හෙජිං ගනුදෙනුවේ අනෙක් පාර්ශවකරුවන් වූ සිටි බැංකුව, ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව සහ ඩොයිෂ් බැංකුව ජාත්‍යන්තර අධිකරණය හමුවට යාමය.

පාඩුත් කරගෙන වන්දිත් ගෙව්වා !

එහිදී සිටී බැංකුව, ඩොයිෂ්  බැංකුව,හා ස්ටෑන්ඩඩ් චාර්ටඩ්  බැංකුව ගිවිසුමට අදාළ නෛතික කටයුතු කළ සිංගප්පූරුවේ බේරුම්කාර මණ්ඩලයටත්, ලන්ඩන් අධිකරණයටත්, අමෙරිකානු අධිකරණයකටත් පැමිණිලි කෙරින.  2011පෙබරවාරි මාසයේදී සිංගප්පූරු බේරුම්කාර මණ්ඩලය නිර්දේශ කළේ ලංකා රජය විසින් ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 135 ක ( රුපියල් කෝටි 2138 ක් )  වන්දියක් ගෙවිය යුතු බවය.  2011 ජූලි මස ලන්ඩන් අධිකරණය තීන්දු කළේ ශ‍්‍රී ලංකා රජය  සිටී  බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 162 ක (  රුපියල් කෝටි 1790ක්  ) වන්දියක් ගෙවිය යුතු බවය.

2012 වසරේ සිංගප්පූරු බේරුම්කාර මණ්ලඩයත් අමෙරිකානු අධිකරණයකුත් ලංකා රජයට දැනුම් දුන්නේ ඩොයිෂ් බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 77ක (රුපියල් කෝටි 1040) වන්දියක් ගෙවිය යුතු බවය. ඒ අනුව හෙජිං ගිවිසුමේ සමස්ථ වන්දිය ලෙස රුපියල් කෝටි හාරදහස් නවසිය හැට අටක් ගෙවීමට සිදුවිය.

වන්දි ගෙවීමෙන් ගැලවීම වෙනුවෙන්  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ මුල්‍ය ආයතන  නියෝජිතයන් සමග වසරක කාලයක් තිස්සේ සාකච්ඡා කල අතර එයත් අසාර්ථකව අවසන් වූයේ නීතිඥ ගාස්තු ලෙස පමණක් රුපියල් කෝටි 10ක් පමණ ගෙවා නැතිකර ගනිමින්ය. 

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ඉවත දැම්මා !

එදා බල රස්නය ඉහට වැදී තිබුණු මහින්ද රාජපක්ෂ පාලනය හෙජිං ගිවිසුම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පවා ගරු නොකළ බවත් සිහිපත් කල යුතුය. ගිවිසුමේ අවධානම ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදිව තක්සේරු කළ අතර ඒ අනුව 2010 ජනවාරි මාසයේ නියෝගයක් නිකුත් කරමින් එහි සඳහන් කලේ ඛනිජතෙල් සංස්ථාව පෙට්ට‍්‍රල් මිල පමණක් රුපියල් 100/= ක ස්ථාවර මිල යටතේ රඳවා ගන්නා ලෙසය. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම නියෝගය සම්බන්ධව එදා ආණ්ඩුව එය නොතකා හැරිය අතර විධායක ජනාධිපති ධුරයේ අසීමාන්තික බලය හමුවේ ඒ නිසාම ශ්‍රේෂ්ඨාධිකරණය තමන් ලබාදුන් එම නියෝගය ජනවාරි 27 දා ආපසු ඉවත් කර ගනු ලැබිණ.

එදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ගියා නම් අදාළ ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගයක් සඳහා එය පදනමක් කර ගන්නට අවස්ථාව හිමිවුවත් බල උෂ්ණය නිසා එයත් අහිමි විය. අඩුවට තෙල් දීම කෙසේ වෙතත් ලංකාවට කෝටි හාරදහසකට අධික මුදලක් වන්දි ගෙවාගෙන අහිමිව මහත් ජාත්‍යන්තර අපවාදයටද මුහුණ දීමට සිදුවිය.

අද තත්ත්වය !

අද වන විට ලංකාවේ ආර්ථික තත්ත්වය අන්තිමය. යහපාලන ආණ්ඩු සමයේ දැක්මක් ඇතුව ගොඩනැගු ආර්ථිකය මාස තුනක් ගත වන අවස්ථාව වන විට නැත්තටම නැතිකර ගන්නට පොහොට්ටු ආණ්ඩුව කටයුතු සකස්කර ගත්තේය. විශේෂයෙන් බදු සහන කියමින් සිදුකල තකතීරු කටයුත්ත හමුවේ  රාජ්‍ය ආදායම නැතිබංග කරගෙනය. ඒ නිසාම සේවක වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් වර්ධක පමණක් නොව කිසිඳු සහනයක් ජනතාවට දීමට ආණ්ඩුව අසමත්වී ඇත. කොටින්ම කියනවා නම් ලංකාව බංකොලොත් වෙන්න ඔන්න මෙන්න සහ අලුතින් බංකොලොත් වෙන්න දෙයකුත් නැති මට්ටමේය.

ලංකාවට ණය දුන්නත් ගෙවන්න වැඩිපුර කල් ඉල්ලා ලෝකයටම ඇසෙන්න අගමැති මහින්දට කියන්න සිදුවූයේද ඒ බංකොලොත්කම නිසාය. ඒ නිසාම ලෝකයේ ණය වර්ගීකරණ ආයතන ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් තම දර්ශක වල පසුපසට ඇදදමා ඇත. එහෙව් පසුබිමක හෙජිං ගිවිසුම් කියන්නේ තවත් අවධානමක් ගැනීමක් නොවේද ? බංකොලොත් ආණ්ඩුවක් සමඟ තද කොන්දේසි නැතුව ගිවිසුම් ගතවෙන්න ඉන්න ජාත්‍යන්තර අනේපිඬු සමාගම් තිබේද ? සියල්ලට වඩා හෙජිං ගිවිසුම් වල කොන්දේසි කඩකර කළු පැල්ලම් මකාගන්නට ආර්ථිකය තව තවත් අන්ත අඩියකට ඇද දමන කොන්දේසි වලට යට වෙන්න ඇති ඉඩ ප්‍රතික්ෂේප කළ හැකිද ? යහපාලන ආණ්ඩුවේ ඉන්ධන මිල සූත්‍රය ගැන අතිලියේ කිඹුල්ලු මැවූ ජඩමාධ්‍ය මේ නටන්න යන හෙජිං නාඩගම ගැන නිහඬ මොකද ? 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න