Language Switcher

V2025

පොහොට්ටු නායකයන් සියළුදෙනා බැලූ : දයාසිරිගේ ෆේස්බුක් සටහන !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පොදුජන පෙරමුණ යටතේ නාමයෝජනා අත්සන්  කිරීමෙන් පසු පළමු වරට පක්ෂයට වූ ‌කෙනෙහිලිකම් අනාවරණය කරමින් සිය ‌ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

එය කිසිදු සංස්කරණයකින් ‌තොරව ‌පහත පළකර තිබේ.ඔබත් මමත්…ඔබත් මමත් රටත් අභියෝග ගණනාවකට මුහුණ දෙන මේ කාළ වකවානුව තුළ මොහොතකට අතීතා වර්ජනය කර බැලූකළ ලෝකයේ බලවත්ම රටවලටත් හිතන්නට බැරි දේවල් අපි කරලා තිබෙනවා.

යුද්ධයම හොඳ උදාහරණයක්.ඒ වගේම මුළු ලෝකය වගේම අපේ රටත් මුහුණපා තිබෙන මේ covid 19 වසංගත තත්වයද අපට ලොකු අභියෝගයක්.මේ හැම දේකින්ම පරීක්ෂා කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙ ඔරොත්තු දීමේ ගුණය යි.

ඔව් අපි ඔරොත්තු දෙන විදියට පෙළගැසෙමු..දයාසිරි ඕනම දේකට ඔරොත්තු දෙන මිනිහෙක්.

ඒ ශක්තිය දුන්නේ ඔබ ගැටලුවක් පෙනෙන තැනක අවසාන මොහොත දක්වාම සටන් කළේ ඔබ මට දුන් ඔරොත්තුදීමේ ශක්තිය නිසයි.අද මම නාමයෝජනා අත්සන් කළා.

පොහොට්ටුව ලකුණින්,

කෙනෙක් දෙන්නෙකුගෙ වැරදිවලට රටක් වට්ටන්න දෙන්න පුලුවන්ද ?

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැක්මක් සහිත නායකයෙක්. රට වෙනුවෙන් එතුමා හොයන මිනිස්සු මුණ ගස්වන්න අද දක්වාම මම සටන් කලා.මතවාදී අරගල දේශපාලනයේ සුලභයි.

තීරණාත්මක ජනාධිපතිවරණයේදී ගෝඨාභය මැතිතුමාට රටේ හරි අතට අත දුන්නෙ එක්ව ජයගතයුතු අභියෝග රාශියක් නිසයි.අදත් ඒ ගමන අත් නොහරින්නේ අන්න ඒ නිසයි.

නමුත් මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා.

පක්ෂයේ සංවිධායකයින්, පාක්ෂිකයින් ආරක්ෂා කිරීම මගේ යුතුකම .ඒ වෙනුවෙන් හඬක් නොනගා සිටීම සැබැවින්ම අසීරුය.

අපි එකම මහගෙදර ඉපදී එක බත් මුට්ටිය බෙදාගෙන කෑ සහෝදරයන් විනා දේශපාලන විරුද්ධවාදීන් නොවෙමු.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නිර්මාණය වන්නේ එවන් පසුබිමකයි.හැංගි හැංගි වෙස් බැඳීම මාගේ පුරුද්ද නොවේ.

කථා සාරාංශය මෙසේයි..

අප සන්ධානය ගොඩනැගීමේදී එකඟ වූ කරුණු රාශියක් ඇත. පක්ෂවලට ලබා දෙන අපේක්ෂක සංඛ්‍යාව ඉන් ප්‍රධාන යි.

කුරුණෑගල මාගේ දිස්ත්‍රික්කයයි. අපේක්ෂකයින් දහඅටක් අතරින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයින් හයක් ලබාදෙන එකඟතාව පසුව එය හතර දක්වා අඩුවීම අවසානයේ දෙකක් පමණක් ලබාදීම ගැටලුවේ ආරම්භයයි.

මේ ලඝු කිරීම තුළ විශාල ඡන්ද පදනමක් සහිත හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරු දෙපළක්ම මගහැරී ඇත.

විද්වතුන් මග හැරී ඇත. කොටළුවන් ලයිස්තුවට දමා අශ්වයන් පාර්ලිමේන්තුවට එවනවා කියා පවසන්නේ මා නොව මහජනතාවයි.

මෙම තීරණය මත ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඇඟිල්ල දිගු වීම ඉතා කණගාටුවකි.

මා හඬ නැගුවේ ම එය ද නිවැරැදි කළ යුතු නිසාය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල සංවාදයක්, සටනක් කර පැවැති තත්ත්වය ආරක්ෂා කර ගත්තා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශාල ඡන්ද පදනමක් සහිත ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පොරොන්දු වූ අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනෙක් පමණක් ලැබුණු අතර නුවරඑළියට, කළුතරට කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාව ලැබුනේ නැහැ.

අවසානයේ නුවරඑළිය ,කළුතර,වන්නි දිස්ත්‍රික්ක හා උතුරු නැගෙනහිර ප්‍රදේශ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කිරීමට ඉදිරිපත් වන්නේ මෙවන් පසුබිමකයි..

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වගේම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක. රාජකාරිය මට හැමදාම දේවකාරියක්, මට සියලු දෙනා ලබාදුන් වගකීම මා නිවැරදිව ඉටු කළ යුතුමයි.

මම යළි කියමි කීපදෙනෙකුගේ උවමනාවට රටක් අනාගතයක් විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ගමනත් අඩාල කිරීම අපරාධයකි.

අපි එකතුවෙමු ඕනෑම දේකට ඔරොත්තු දෙන රටක් හදමු

ස්තුතියි