Language Switcher

V2025

අප්‍රේල් 25 ජන්දය තියන්න බෑ - මැකො තීන්දුව ගනී

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපති පවසා සිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මේ සම්බන්ධව පොදු තීන්දුවක් ගත් බවය.හෙට දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් සියලු අංශ එක්ව ලංකාවේ එකඳු කොවිඩ් වෛරසය ආසාධිතයෙක් නැතැයි කියා පැවසුවද මතුව ඇති තත්ත්වය හමුවේ මැතිවරණ කැලැන්ඩරය අර්බුදයට ගොස් ඇති බවත් එබැවින් කිසිඳු හේතුවක් මත අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් ඔහු පැවසීය.

අප්‍රේල් 25 දායින් දින 14 කට පසු දිනයක මැතිවරණය පැවැත්විය හැකි වුවත් එම දිනය මැයි මාසයේද, ජුනි මාසයේ ද නැත්නම් වෙනත් දිනකද යන්න මේ මොහොතේ පැවසිය නොහැකි බවත් මැතිවරණය පැවැත්වෙන දිනය කොවිඩ් 19 වෛරසය සහ එය පාලනය කිරීමට පත්කර ඇති කාර්ය සාධක බලකායේ කටයුතු අනුව සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.එසේම මේ ආකාරයට රටේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මැතිවරණය කල් තැබීමේ තීන්දුව ගැනීමේ බලය කොමිසමට ඇති බවත් ඒ අනුව මෙම තීරණය ගනු ලැබූ බවත් ඔහු සඳහන් කළ අතර නියමයක් නැතත් ජනාධිපති සමඟ පවා මේ සම්බන්ධව සාකච්ඡා කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මැතිවරණය කල්දාන්න එපා - ආණ්ඩුවෙන් මැතිවරණ කොමිසමට බලපෑම් !

මේ අතර අද (19) පෙරවරුවේ ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ රටේ පවතින කොරෝනා වෛරස රෝගය පැතිරයෑමේ වාතාවරණය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය සති කිහිපයකින් කල් දැමීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී ඇතත්, ඡන්දය විමසීමේ දිනය (අප්‍රේල් 25) කුමන හේතුවක් නිසා හෝ කල් නොදමන ලෙස ආණ්ඩුවේ ඇතැම් පාර්ශව විසින් මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් සිටින බවට  ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වන බවය.

එසේ බලපෑම් එල්ල වී ඇත්තේ, අද (19) දිනයේ මැතිවරණය සඳහා වන නාමයෝජනා ලබා දීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමේ දිනය කල් දමන ලෙස ආණ්ඩුවේ පාර්ශවකරුවන් නොවන සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින මොහොතක බවත් එම පුවතේ සඳහන්ව තිබිණ.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව තිබිණ.

 ආණ්ඩුව බයවෙලා ඇයි ?

රටත් ජනතාවත් කොරෝනා වෛරස් අනතුරින් තැති ගෙන සිටියදී ආණ්ඩුව මහ මැතිවරණය කෙසේහෝ පැවැත්වීමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි ද කියන කාරණය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇත. 

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙස මහ මැතිවරණය මාස කිහිපයකට හෝ කල්දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගතහොත් එය ආණ්ඩුවට බරපතල ලෙස අවාසි සහගතවිය හැකි බවට ජනමත සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබීම ඊට මුලික හේතුව බව පැවසේ.

පෞද්ගලික ආයතනයක් හරහා ආණ්ඩුව විසින් මෙම ජනමත සමීක්ෂණය සිදුකර ඇති අතර ඊට සෑම දිස්ත්‍රීක්කයකින්ම පාහේ පුද්ගලයින් 200කට ආසන්න පිරිසකගේ අදහස් විමසීමක් සිදුකර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස තුනකට වැඩි කාලයක් ගතව ඇතත් ජනතාව බලාපොරොත්තුවූ පැහැදිලි වෙනසක් ක්‍රියාත්මක නොවීම තුල 'පොහොට්ටුවට' ඡන්දය දුන් බොහෝ පිරිසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි  බලවත්සේ කලකිරීමට පත්ව සිටින බවත්, ආර්ථික දුෂ්කරතා හා ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන්ගේ ක්‍රියාකලාප නිසා ආණ්ඩුවේ ජනප්‍රියතාවය දිනෙන් දින බිඳවැටෙමින් තිබෙන බවත් එම සමීක්ෂණ වාර්තාවෙන් අවධාරණය කර ඇතැයි ද පැවසේ.

වත්මන් 'කොරෝනා' තර්ජනය මැඩපැවැත්වීමට ආණ්ඩුව අපොහොසත්ව ඇතැයි සමීක්ෂණයට එක්ව ඇති බහුතරයකගේ අදහස වී ඇතැයි ද වාර්තාවේ.

මෙසේ දවසින් දවස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩුවෙමින් පවතින තත්වය තුල මහ මැතිවරණය කල් දැමීම කටයුතු නොකරන්නැයි එම සමීක්ෂණ වාර්තාව මගින් අවධාරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිගේ පරිප්පු සැමන් කතාව !

මේ අතර කොරෝන වෛරසයෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා (17) රාත්‍රී  ජාතිය අමතා සිදුකල 'පරිප්පු - සැමන්' විශේෂ ප්‍රකාශය ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස හාස්‍යයට ලක්වීම 'පොහොට්ටු' පක්ෂයේ නායකයින්ගේ අවධානයට යොමුව ඇතැයි පැවසේ. 

ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය හා ඔහුගේ ප්‍රතිරූපය මහ මැතිවරණයට යොදා ගැනීමට බලාපොරෝත්තුව සිටියද ජාතිය අමතා සිදුකළ එම ප්‍රකාශයෙන් පසු එම අදහස අතහැර දැමීමට සිදුව ඇති බවත්, මෙවැනි ප්‍රකාශ හරහා ඉදිරියේදී සිදුවිය හැකි හානිය බරපතල බැවින් යොදාගත් පරිදි මහ මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීම අනිවාර්යය වී ඇතිබවත් 'පොහොට්ටු' පක්ෂයේ ක්‍රියාකාරිකයකු කියා සිටියේය.