රටම මහා අවධානමක දාපු තීන්දුවක් : GOMA තිගැස්සෙයි

රටම මහා අවධානමක දාපු තීන්දුවක් : GOMA තිගැස්සෙයි
ඊයේ (18) සවස 4.00 ට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුවේ ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය අද (19) උදෑසන 8.00 ඉවත් කිරීමේ තීන්දුව ගනුලැබූ තැනැත්තා අනාගතයේ රට මුහුණදෙන අනතුරට වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
 
අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මේ අදහස් දැක්වූ අතර ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ ගෝලීය වසංගතය මර්දනය කිරීම අතර වෙනස තේරුම් ගන්නේ නැතිව ඉදිරියට යාමට නොහැකි බවත් ඔහු පැවසීය.
 
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
 
ඇඳිරි නීතිය ඉවත්කළ තීරණය කාගෙද ?
 
"ඊයේ පුත්තලම දිස්ත්‍රික්කය සහ මීගමුවේ ප්‍රදේශ  හවස 4.00ට පොලිස් ඇඳිරි නීතිය දාලා වහනවා. අද උදේ 8.00 ට ඉවත් කරලා යන්න ඕන අයට යන්න දෙනවා. මේකද වසංගත රෝග විද්‍යානුකූල නිර්දේශය? මේකද සෞඛ්‍ය අංශ වල ක්‍රමවේදය? කොහෙන්ද මේ තීන්දුව ආවේ. උදේ 8.00ට ඇඳිරි නීතිය ඉවත් කරන්න කවුද තීරණය ගත්තේ ? 
 
ඊයේ සවස 4.00 ට මෙහෙයුම් මණ්ඩලයේ හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් තිබ්බා. එහිදී තමයි තීන්දු තීරණ ගන්නෙ. එහිදී තීන්දුවක් ගත්තේ නෑ උදේ 8.00 ට ඇඳිරි නීතිය ඉවත් කරන්න. 
 
මේ සහතිකය පොලිස්පති හෝ හමුදාපති දෙනවාද ?
 
පුත්තලමේ හිටපු පිරිස මේ වෙනකොට කොළඹ ඇවිත් නෑ කියලා කාටද සහතිකය දෙන්න පුළුවන්. හමුදාපතිට පුළුවන්ද ? පොලිස්පතිට පුළුවන්ද ? කාටවත් දෙන්න බෑ. ඒ අය රටේ අනිත් ප්‍රදේශ වලට, මහනුවරට ගියේ නෑ කියලා කාටද සහතිකය දෙන්න පුළුවන් ? පොලිස් ඇඳිරි නීතිය අද හවස 2.00 ට දානකොට ඒ අය නැවත පුත්තලමට එයි කියලා කාටද සහතිකය දෙන්න පුළුවන් ? 
 
ඒ අය රට හරහා ගමන් කරලා කොහේ කොහේ ස්ථාන ගතවෙලාද කාටවත් සහතිකයක් දෙන්න පුළුවන්ද ? ජනතාවගේ ජීවිත නේද මේ අවධානමට ලක්කරන්නේ ? මේ බැරෑරුම්කම තේරුම් ගන්නේ නැතිව ඉදිරියට යන්න බෑ. 
 
ත්‍රස්තවාදය මර්දනය සහ ගෝලීය වසංගතය මර්දනය කිරීම දෙකක් !
 
සමාජයක් විදියට මේක තේරුම් ගන්න ඕන, රටක් විදියට තේරුම් ගන්න ඕන, ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ ගෝලීය වසංගතයක් මර්දනය කිරීම අතර තියන වෙනස. ඒ වෙනස තේරුම් නොගෙන ඉදිරියට යන්න බෑ.
 
 ඇඳිරි නීතිය ඉවත් කල යුතුව තිබුණා නම් එය කල යුතු විදියක් තියනවා. ඒ ගැන සෞඛ්‍ය අංශ වලින් අහන්න තිබුණා. ඒ ප්‍රදේශ LOCKDOWN කරා නම් හරි. වටේ ඉන්න අය ජනාධිපතිට හරි උපදෙස් දෙන්න. අපි ජනාධිපතිගෙන් ඉල්ලනවා මේ තීන්දු ගත්ත අය කවුද කියලා හොයලා බලන්න කියලා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න