Language Switcher

V2025

නිරෝධායනය විධිමත්ද ? පුරවැසි ප්‍රශ්නයක් !

ඊයේ (18) දිනයේදී ගුවන් යානා 16 කින් පුද්ගලයින් 1500 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඔවුන් සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඊයේ සවසම ඔවුන්ගේ නිවෙස් සඳහා යොමු කළ බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින්ය. විදෙස් සිට පැමිණෙන ප්‍රජාව ස්වයං නිරෝධායනය ප්‍රායෝගිකද ?

මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් රජය යටතේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා නොගෙන නිවෙස්වලට යවා ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස දැනුවත් කිරීම කොතරම් දුරට ප්‍රායෝගික විය හැකිද යන ප්‍රශ්නය සිවිල් සමාජ ක්‍රියාකාරීන් මතුකරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ලංකාව තුළ සිටින පිරිස් ඉතාම අත්‍යාවශ්‍ය කටයුත්තකදී හැර නිවෙස් වෙතින් බැහැර නොවී සිටියත් වෛරසය ආසාධිතවීම වළක්වා ගැනීමට කටයුතු කිරීම ප්‍රමාණවත් නමුත් විදෙස් ගතව සිට පැමිණෙන පාර්ශව වෛද්‍ය අධීක්ෂණයක් යටතේ දින 14ක් හෝ රඳවා ගැනීම වැදගත් නොවේද යන්නයි.කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළක්වීම වෙනුවෙන් විදෙස් ගතව සිට පැමිණෙන ලාංකිකයන් සම්බන්ධව ආණ්ඩුව දියත්කර ඇති නිරෝධායන ක්‍රියාවලිය තුළ මේ වන විට ස්ථර තුනක් පෙනෙන්නට ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ බව විස්තර කරමින් ඔවුන් දක්වන්නේ එක් පිරිසක් රජය විසින් නම් කළ නිරෝධායන වලත්, තවත් පිරිසක් ස්වයං නිරෝධායනය කියා ඔවුනොවුන්ගේ නිවෙස් වෙතත් යවන අතරේ ප්‍රභූ පවුල් වල සාමාජිකයන් වෙනම සැපපහසුකම් සහිත රජය විසින් පවත්වාගෙන යන  VIP නිරෝධායන ස්ථානවලට යොමුකර ඇති බවය.

ඒ සමඟ ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්තවීම ආරම්භවූ සමයේ චීනයේ වුහාන්වල සිටි සිසුන් (ඔවුන් අතර මෙරට ප්‍රභූ පවුල්වල දරුවන්ද සිටියා) දියතලාවේ හමුදාව යටතේ පැවති නිරෝධායන ස්ථාන වෙත යැවීමේ සහ දැන් කොරෝනා වෛරසය යුරෝපය කේන්ද්‍රීයව ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන පසුබිමේ විදෙස් ගතව සිට පැමිණෙන ලාංකිකයන් නිවෙස් වලට යැවීම අවධානමක් බවය.මේ සම්බන්ධව ආණ්ඩුව සිය ප්‍රතිපත්ති සම්පාදනයේදී වඩාත් අවධානයක් යොමුකළ යුතු බවද සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබේ.

එසේම ඔවුන් අවධාරණය කරන්නේ නිරෝධායන ක්‍රියාවලිය යන්න සැමට එක සමානව සිදුකල යුත්තක් මිස ආණ්ඩුවේ ඇමැතිලාගේ ඥාතීන්, ප්‍රභූ පවුල් සාමාජිකයන්, සාමාන්‍ය වැසියන් ලෙස මේ ආකාරයේ වර්ග කිරීමක් ලෝකයේ කිසිඳු රටකින් අසන්නට නොලැබුණු බවය.VIP නිරෝධායනය !මේ අතර වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන මහින්ද අමරවීරගේ පුතා ඇතුළු ප්‍රභූ සහ ව්‍යාපාරික පවුලවල දූ දරුවන් හා ඥාතීන් කිහිපදෙනෙකු පසුගිය 17 වනදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි අතර මේ වනවිට ඔවුන් දියතලාව සුඛෝපභෝගී නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බව lanka truth වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම පිරිස අතර මහින්ද අමරවීරගේ පුතා සමග ලක්ෂමන් වසන්ත පෙරේරගේ පුතා, මහින්ද යාපාගේ පුතා, මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුතා, කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ දියණිය ඇතුලු පිරිසක් වන බවත් එම පුවත් වාර්තාවේ දක්වා තිබු අතර මැති ඇමතිවරුන්ගේ හා ප්‍රභූන්ගේ ඉතා සීමිත පිරිසකට එම විශේෂ වරප්‍රසාදය හිමිව තිබෙන අතර සාමාන්‍ය පවුල්වල ශිෂ්‍යන් ගනාවක් ලංකාවට පැමිණීමට නොහැකිව මේ වනවිටත් එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක සිරවී සිටින බවත් වාර්තා කර තිබිණ.