කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා ඉහළට : තත්ත්වය බරපතලයි: නිවේදනයක් !

කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා ඉහළට : තත්ත්වය බරපතලයි: නිවේදනයක් !

මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද(21) දිනයේ නව ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟය. 

මේ අතර අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබු පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසූ අතර මෙම පිරිසට අමතරව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක වෛද්‍යන අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

3063ක් නිරෝධායන මධ්‍යස්ථානවල : තවත් 11,048ක් නිවෙස් වල නිරෝධායනයේ !

තවද කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ  විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බවය.මීට අමතරව තවත් 11,048 දෙනෙක් නිවෙස්වල දී නිරෝධායනයට ලක් කර තිබෙන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.  

මේ වන විට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර එය උල්ලංඝනය කළ පුද්ගලයන් 130 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

කොරෝනා සීග්‍රයෙන් පැතිරෙයි : බරපතල තත්ත්වයක් - පළාත් පාලන ඇමතිගෙන් නිවේදනයක් !

කොරෝනා වෛරසය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වන මොහොතක රජය විසින් ගෙන ඇති පියවර පළාත් පාලන ආයතන ප්‍රධානීන් විසින් කඩිනමින් අනුගමනය කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

සියලුම පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් වෙත කෙරෙන විශේෂ නිවේදනය

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හා නව ආසාදිතයන් හඳුනාගැනීම ඉතා සීග්‍රයෙන් සිදුවන බැවින් ඉතාම බරපතළ තත්ත්වයක් රට තුළ උද්ගත වී ඇත.

රජයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රටේ සියලුම ජනතාව මෙම තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් හා ක්‍රමවත්ව ක්‍රියාත්මක කරවා ඇත.නමුත් තවමත් මෙහි භයානක තත්ත්වය බහුතර ජනතාවක් තේරුම්ගෙන නොමැත.

ලෝකයේ සංවර්ධිත රටවල් පවා මෙම තත්ත්වයෙන් දැඩි පීඩාවට පත්ව ඇති අවස්ථාවක අප වැනි රටකට ඇති විය හැකි තත්ත්වය පිළිබඳව වූ වගකීම් දේශපාලන නියෝජිතයන් ලෙස හැටියට ඔබට අවබෝධ වී තිබිය යුතුය.මෙම තත්ත්වය යටතේ වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කරන්න.

ජනතාව රැස් කිරීම, උත්සව, දේශන, ජනහමු ආදිය පැවැත්වීමෙන් වැලකී සිටින අතරම ඔබ බල ප්‍රදේශ තුළ එවැනි දේ සංවිධානය කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න.

එමෙන්ම පළාත් පාලන බල ප්‍රදේශ තුළ පවිත්‍රතාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන කම්කරුවන්ගේ සිට සියළුම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු ආකාරයෙන් වැඩ පිළිවෙළක් සකස් කරන්න.

ජනතාව අවදානමට ලක් කරන කාර්යයන් සංවිධානය, මෙහෙයවීම හෝ අනුබල දීම ආදී කාර්යයන්ට මැදිහත්වීමට පෙර මේ වෙනුවෙන් මහජනතාවට ක්‍රියාත්මක නීතිය කිසිදු වෙනසකින් තොරව ඔබට ද බලපැවැත්වෙන බව ඉතාම තරයේ සිහි තබාගත යුතුය.

ජනක බණ්ඩාර තෙන්නකෝන්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න