කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන බලධාරීන් නම් කර ඇති අතර මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිතවුවන් ප්‍රමාණය 101 දක්වා ඉහළ ගොස් ඇත.
දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය !
ඒ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අද (24) නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ නැවත දැනුම්දෙන තුරු අවධානම් කලාප සඳහා මේ වන විටත් පනවා ඇති ඇඳිරි නීතිය බලාත්මක කරන බවය. ඒ සම්බන්ධව ඔහු විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
වැඩපිළිවෙලක් තිබුණා නම් මෙහෙම වෙයිද ?
එසේම අවධානම් කලාප වල වෙසෙන ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ගැනත් ඉහත නිවේදනයේ දක්වා තිබේ. එය පැසසිය යුතු කරුණක් වුවත් ප්‍රශ්නය ඇත්තේ කොළඹ, ගම්පහ, වැනි දිස්ත්‍රික්ක ආශ්‍රිත ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවේ අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව එක රොදට එක්වීම යන්න තීන්දු තීරණ ගන්නා උදවිය අපේක්ෂා නොකළේද යන්නය.
මේ දිස්ත්‍රික්ක ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් ඇති ප්‍රදේශ පමණක් නොව පංති ස්තරායනය අනුව අතින්ද විවිධත්වය වැඩිම ප්‍රදේශය. අනෙක් අතට කොරෝනා වෛරසය ආසාදිතවූවන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේද මේ කොළඹ, ගම්පහ, කළුතර ආශ්‍රිතවය. එබැවින් එක වරම මේ ප්‍රදේශ (කළුතර ඊයේ (23) ) වලට පනවා තිබූ ඇඳිරි නීතිය එක් වරම ඉවත්කළ විට ජනතාව උනන්දු වන්නේ වසංගතයට වඩා වසංගතයෙන් බේරී සාගතයෙන්ද බේරෙන්න හැකි උපරිමයෙන් වැඩි වැඩියෙන් බඩු භාණ්ඩ ගන්නටය. කොතරම් එපා කීවත් ජන මනසේ හැසිරීම සහ එළඹුම එයම බැවින් ස්වයං පාලනයක් වෙත ඔවුන් යොමුවෙයි කියා සිතනවා නම් ඊට වඩා මුග්ධ අදහසක් නොමැත.
ඒ අනුව අද සහ ඊයේ සිදුවුයේ ජනතාව කොරෝනා වසංගතය අමතක කර සාගතයෙන් බේරෙන්න වැඩි වැඩියෙන් බඩු ගන්න වෙළඳපොළට පැමිණීමය.
නමුත් මේ ජනතාව වෙත වෙළඳපොල විවෘත කිරීමේ නිසි වැඩපිළිවෙලක් බලධාරීන්ට තිබුණා නම් මේ තත්ත්වය අවම කිරීමට තිබූ බව පැහැදිලිය. දැන් බලධාරීන් කියන්නේ ජනතාව ඒකරාශී වීම ගැටළුවක් වූ බව නම්, ඊට පැහැදිළි අනෙක් ප්‍රතිචාරය වන්නේ ජනතා ඒකරාශී වීම වැළක්වීම ඇඳිරිනීතිය පැනවීමේ මූලික කොන්දේසිය වුවා සේම, එය නැවත ලිහිල් කිරීමේදී ජනතාව ඒකරාශී කිරීම පාලනය කිරීමේ වැඩපිළිවෙලක් බලධාරීන්ට නොවූ බවය.
දැනට ඇති එකම බෙහෙත ව්‍යාප්තිය වලක්වා ගැනීමයි !
කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නමුත් මේ දක්වා ඊට ඖෂධයක් සොයා ගැනීමට සමස්ත ලෝකයම සමත්වී නැත. එබැවින් ලෝකයම මේ මොහොතේ වඩාත් අවධානය යොමුකර ඇත්තේ එක් පසෙකින් කොරෝනා මර්දනය වෙනුවෙන් ඖෂධයක් සොයන අතරේ අනෙක් පසින් හැකි උපරිමයෙන් වෛරසය පැතිරීම නැතිනම් ව්‍යාප්තවීම පාලනය කර ගැනීම කෙරෙහිය.
ලොව පුරා රටවල්, කළාප, ප්‍රදේශ , මට්ටමින් එය ක්‍රියාවට නංවමින් සිටිනු දක්නට ඇත. ලොක්ඩවුන්, ෂට්ඩවුන්, නිරෝධායනය ආදී ලෙස අපේ පරම්පරා මීට පෙර කිසිදිනක අත්විඳ නැති දේ අහන්න සහ ඒ අනුව කටයුතු කරන්න සිදුව ඇත්තේ ඒ අනුවය. ඒ ලෙස යමින් මෙරට තුළත් මේ වන විට රටම ආවරණය වන ආකාරයට ඇඳිරි නීතිය පනවා ඇති අතර එහි අපේක්ෂාව විය හැක්කේ වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්තවීමට ඇති අවස්ථා පාලනය කිරීම සහ නිරෝධායනය විය යුතු නමුත් ඒ මඟහැර සිටින අමනෝඥයන් සොයා ගැනීමටය.
ඇඳිරි නීතිය මොකටද ?
ටිකක් කල්ගතවී ඇති නමුත් ගුවන් තොටුපළ සහ වරාය ආශ්‍රිත මගීන් පරිවහනය අත්හිටුවා රට පුරා ඇඳිරි නීතිය දැමීම වෛරසය වාප්තවීම ප්කාලංඅය කිරීමට ගෙන ඇති තීන්දුව අගය කල යුතුය. එවැන්නක අත්‍යාවශ්‍ය බව වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පළමු මොහොතේ සිට ආණ්ඩුවට බලකරනු දක්නට ලැබුණු අතර ආණ්ඩුවට සහය දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා එය දැඩිව අවධාරණය කරනු පසුගිය දිනවල දකින්නට ලැබිණ.
මේ සම්බන්ධව මූලික අදහස් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට ඇතැමුන් ලොක්ඩවුන්, ෂට්ඩවුන් සම්බන්ධව විවේචන සිදුකල අතර ඔවුන් ඊට විරෝධය දැක්වූ නමුත් විකල්පයක් ඉදිරිපත් කෙරුණේද නැත. බොහෝ විට ඔවුන් මෙය සැළකුවේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරන දේශපාලන යෝජනාවක් ලෙසය.
ජාතික ව්‍යසනයක් හමුවේ එක්වෙන්න ලොජික් ඕනද ?
පක්ෂ නායකයන් කැඳවා, පාර්ලිමේන්තුව රැස්කර ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියූ විට, කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව පංති දේශපාලනය ගැන පවා බුකියේ පාරම්බෑ උදවිය ඊට ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන ප්‍රශ්න කරනු දක්නට ලැබිණ. අතීත අත්දැකීම් ප්‍රශ්න කරනු දක්නට ලැබිණ. මේ ප්‍රශ්න ඇසීම තුළ සාධාරණීකරණය කෙරුණේ රජයේ මුදල් සම්පාදනය හැරෙන්න වෙනත් හේතුවක් පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව නොමැති බවය. කැබිනට් එක, ජනාධිපති ඉන්නා නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගත යුතු බවය.
නමුත් ඔවුන් අසංවේදී වුයේ ගෝලීය වසංගතයක් ගැන ලංකා ව්‍යවස්ථාවේ නොමැති බවය. ගෝලීය වසංගතයක්, ජාතික ව්‍යසනයක් බවට පත්වීමට පෙර "හදිසි අවස්ථා ප්‍රතිපාදන" හෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් හෝ මීට විසඳුමක් සපයා ගැනීමේ වැදගත්කමය.
අනෙක් අතට ඔවුන් අසංවේදී වූයේ රටේ පරමාධිපත්‍ය බලය ජනතාව සතු බැවින්, ඒ සමස්ථ ජනතාව ව්‍යසනයක ගොදුරක්වීමේ අවධානමක් මතුව ඇති බැවින් මෙය ආණ්ඩුවේ හුදකළා කටයුත්තක් හෝ වගකීමක් නොව පක්ෂ, ආගම්, සමාජ සංවිධාන, වෘත්තීය ක්ෂේත්‍ර විද්වතුන් සියලු දෙනාගේ වගකීමක් බවට පත්කර ගැනීමේ වටිනාකමය. ආණ්ඩුවේ විපක්ෂයේ කියා පාරම්බාමින් සිටිනු වෙනුවට ජාතික මෙහෙයුම් කමිටුවක් හරහා ආණ්ඩුවේ අධිකාරි බලය ව්‍යසනයට එරෙහිව මුළුමනින්ම යෙදවීමේ රාජ්‍ය බලය ව්‍යසනයට එරෙහිව මුළුමනින්ම යෙදවීමේ සුජාත බව ලැබීමේ උපක්‍රමයක් ලෙස පාර්ලිමේන්තුව රැස්කිරීම හෝ එහි නියෝජනය ඇතුළත් ජාතික සභාවක් පිහිටුවීම වලංගු බව ඔවුන් දුටුවේ නැත.
ඒ සියල්ල අද අපට පෙනෙන්නේ තම පෞද්ගලික වාසි ප්‍රයෝජන වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයන්ගෙන් ලකුණු ගන්න කළ වැඩ මිස අනෙකක් ලෙස නොව. ඒ හමුවේ අපට නම් මෙතැන ලකුණු ප්‍රශ්න නැති අතර අපට ඇත්තේ සමස්ථ ලෝකයක්, රටක් වසංගතයක් හමුවේ මුළුමනින්ම අවධානමට ලක්ව සිටීමේ අවාසනාවන්ත ඉරණම ජය ගැනීම වෙනුවෙන් කුමක් කල යුතුද යන්නය. ඒ වෙනුවෙන් කාටවත් අඟ බේරගන්න බැරි වන සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සාමුහිඛ වැඩපිළිවෙලක අවශ්‍යතාව මතු කිරීමය.
කොරෝනා වෛරසය ආණ්ඩුවේ වරදක් නොවන අතර ආණ්ඩුව මීට සෙවිය යුත්තේ සාමුහිඛ විසඳුමක්ය !
මේ ඉල්ලීම වඩාත් පුළුල් බලතල සහිත වගකීම් සහ වගවීම් පැවරුණු ජාතික යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කරගත යුතු බවය. සෞඛ්‍ය සේවයේ උපරිම දායකත්වය ගන්නා අතර, හොඳම ප්‍රතිපත්ති සම්පාදනය, කඩිනම් තීන්දු තීරණ, කාර්යක්ෂම කළමනාකරණ හැකියාව, සෑම අයෙකුම සතු සෑම හැකියාවක්ම ව්‍යසනයට එරෙහිව යොදාගැනීම අපේ එළඹුම වන අතර ලකුණු කාටද යන්න වැදගත් අමුනුස්සයන්ට පමණය.
අවසාන වශයෙන් අප අසන්නේ ආසාදිතයන් ගනිමින් සිටින රට මිනී ගණින තැනට පත්කළ යුතුද ? නැත්නම් ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීම දේශපාලන , ආගමික, සමාජ සංවිධාන සියල්ලන්ගේ වගකීමක් ලෙස පෙරට ගතයුතු නොවේද ?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දැනුවත් කිරීම !
කොරෝනා වයිරස වසංගතය ගෝලීය වශයෙන් පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් මාධ්‍ය වෙත පවසා තිබේ.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ වයිරසය පැතිර ගිය රටාව සම්බන්ධයෙන් කළ අධ්‍යයනයට අනුව ආරම්භයේ සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර පසුව දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව ඇති බවය.
සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබුණේ දින 4ක් ඇතුළත යැයි ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
ඒ අනුව ගොලීය වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සාමාජික රාජ්‍ය වහා කටයුතු කළ යුතුව ඇතැයිද හෙතෙම අවධාරණය කර ඇත.