සුළු වැරදිකරුවන් නිදහස් කිරීම වෙනුවට : ජනාධිපති සමූහ ඝාතකයකු නිදහස් කරලා !

 සුළු වැරදිකරුවන් නිදහස් කිරීම වෙනුවට : ජනාධිපති සමූහ ඝාතකයකු නිදහස් කරලා !

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහඝාතනයට එල්ලුම් ගසට නියම වී සිටි ගජබා රෙජිමේන්තුවේ හමුදා නිලධාරියකුඇඳිරි නීතිය පවතින අවස්ථාවේ නිදහස් කර යැවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙසේ නිදහස් කර යවා ඇත්තේ අවුරුදු 20 කට පෙර මිරුසුවිල් සමූහ ඝාතනය සිදු කිරීමේ වරදට අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කොට සිටි මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකයි.

අලුත් අවුරුද්දට පෙර ඔහු නිදහස් කරන බවට ජනවාරියේ දුන් පොරොන්දුවක් ඉටු කරමින් ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ට පුද්ගලිකවම එම තොරතුර දැනුම් දුන් බව හමුදා නිලධාරියා නිදහස් කරගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ දියත් කළ සිංහල ජාතිකවාදී භික්ෂු නමක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටියේය.

“එතුමා අද උදෑසන කතා කරලා ඔබවහන්සේට සතුටු දායක ප්‍රවෘත්තියක් කියන්න තියනවා කියලා මේ ප්‍රවෘත්තිය එතුමා ප්‍රකාශ කළා,” යි සිංහලේ සංවිධානයේ නායක මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ නිවේදනයකින් දැනුම් දී තිබේ. 

අනුරාධපුර රැඳවියන් දෙදෙනකු වෙඩි තබා මරා දමා තිබියදී...

අසීමිත තදබදයක් පවතින බන්ධනාගාරවල කොරෝනා වයිරසය පැතිරී යාම වැලැක්වීම සඳහා සුළු වැරදිකරුවන් සහ වැඩිහිටියන් නිදහස් කරන ලෙස ඉල්ලා අනුරාධපුර උද්ඝෝෂණයේ යෙදුනු රැඳවියන් දෙදෙනකු වෙඩි තබා මරා දමා තිබියදීයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මිරුසුවිල් සමූහ ඝාතනයේ  වරදකරු නිදහස් කොට යවා ඇත්තේ.

ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබූ එකම හමුදා නිලධාරියා රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකයි.

ඔහු රාජකාරි කළේ ජනාධිපති මෙන්ම ආරක්ෂක ලේකම්ද අණදෙන නිලධාරීන් ලෙස සේවය කළ ගජබා රෙජිමේන්තුවේයි.

ජනාධිපතිවරයා විසින් ඔහු නිදහස් කර හරින ලද්දේ කොරෝනා වයිරස් අවදානමෙන් ජීවිත බේරාගැනීම සඳහා හිරගෙදර තදබදය අඩුකිරීමට සුළු වැරදිකරුවන් කවර කොන්දේසි යටතේ හෝ නිදහස් කරන මෙන් ඉල්ලා අනුරාධපුර රැඳවියන් දියත් කළ උද්ඝෝෂණයකට  බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතබා ඉපලෝගම කලාකරඹෑව පූගොල්ලාගම කේ. එම්. ඒ. සමන් කුමාර සහ ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව කේ. එල්. ඩී. අසංක පුෂ්ප කුමාර මරුමුවට පත් වී තවත් හයක් තුවාල ලබා රෝහල් ගතවීමෙන් දින පහක් ගතවීමත් සමගය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න