Language Switcher

V2025

කටුනායක 20000කට කොරෝනා මදිවට සාගතයක් : කඩිනම් පියවර ගන්න !

අදවන විට සේවකයන් 20000ක් පමණ කටුනායක වෙළඳ කලාපය තුළ සිරවී ඇති බවත් ඇඳිරි නීති කාලය තුළ ආහාර සොයා ගැනීමේ අපහසුතාවය නිසා ඔවුන්  සියලූ දෙනාට කුසගින්නේ සිටීමට සිදු වී ඇති ඉතාම  අවාසනාවන්ත තත්ත්වයක් සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ය. එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව විසින් ලිපියක් යොමුකර මේ ලිඛිත දැනුම්දීම සිදුකර ඇති අතර ඔවුන්ගේ හිඟ වැටුප් ගෙවීමට මැදිහත් වී නිවෙස් බලා යැවීමට කඩිනමින් මැදිහත් වන ලෙසත් එහි වැඩිදුරටත් දන්වා ඇත.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා,
අග‍්‍රාමාත්‍ය,
අග‍්‍රමාත්‍ය කාර්යාලය,
අංක 58,
ශ‍්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඔ 07.

2020/03/26අගමැතිතුමනි,කටුනායක වෙළඳ කලාපය තුළ සිරවී සිටින සේවකයින් 20000ක් සම්බන්ධවයි

Covid 19 නම් වූ ලොවපුරා ව්‍යාප්ත වු වසංගතය අද වන විට අප රටටද සැලකියයුතු බලපෑමක් කර ඇත. මෙම තත්වය හමුවේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සදහා රටපුරා ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කර ඇත. මේ අතරින් කොළඹ, ගම්පහ, කළුතර දිස්ත‍්‍රික්කවලට පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ඉවත් නොවේ. මෙවන් තත්වයක් හමුවේ කටුනායක වෙළඳ කලාපයේ සිරවී සිටින සේවකයින් 20,000ක් පමණ මුහුණ දෙන කඩිනමින් විසඳිය යුතු ගැටලූ කිහිපයක් පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්නෙමු.

2020/03/20 වනදින සවස 6.00ට ඇඳිරි නීතිය පනවන බවට එදින උදෑසන 9.00ට පමණ මාධ්‍ය මගින් රට පුරා දැනුවත් කෙරිණි. මෙවනි තත්වයක් හමුවේදී පවා කටුනායක වෙළඳ කලාපය තුළ ක‍්‍රියාත්මක වන කම්හල්වල සේවකයින්ට සවස 2.00 පමණ වනතෙක් නිවෙස් වෙත ගමන් කිරීමට එම ආයතන බලධාරීන් ඉඩ දී නොමැත.

බොහොමයක් දුර බැහැර සිට රැුකියාවට පැමිණෙන වෙළෙඳ කලාප සේවකයින්ට එම කාලය තුළ නිවෙස් කරා ගමන් කිරීමට නොහැකිවිය. සේවක ජීවිත හෝ රෝග ව්‍යාප්තියට වඩා තම ලාභය ගැන උනන්දුවන සමාගම් බලධාරීන්ගේ තීරණ නිසා අදවන විට සේවකයන් 20000ක් පමණ කටුනායක වෙළඳ කලාපය තුළ සිරවී ඇත ඇඳිරි නීති කාලය තුළ ආහාර සොයා ගැනීමේ අපහසුතාවය නිසා මොවුන් සියලූ දෙනාට කුසගින්නේ සිටීමට සිදු වී ඇත.

සමාගම් පාලනාධිකාරියෙන් මොවුන් ගැන කිසිම සොයා බැලීමක් සිදු නොකෙරෙන අතර කුඩා ඉඩ ප‍්‍රමාණයක විශාල ප‍්‍රමාණයක් සිටීම නිසා මොවුන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත.

මේ පිළිබඳ ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස අප බල කරන්නෙමු. මොවුන්ගේ මාසික වැටුප හැකි ඉක්මනින් ලබා දී රජය මැදිහත් වීමෙන් මොවුන්ව හැකි ඉක්මනින් නිවෙස් කරා ගමන් කිරීමට ප‍්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙස අප බල කරන්නෙමු.

දුමින්ද නාගමුව
සංවිධායක ලේකම්,
කම්කරු අරගල මධ්‍යස්ථානය