Language Switcher

V2025

සුනිල් රත්නායක නිදහස්වීම ගැන - කන්නගේ අදහස !

ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුඛ මිලිටරි නිලධරයට සදාචාර විනිශ්චයක් ඇත.සාපරාධී මිනීමැරුම් සිදුකළ සුනිල් රත්නායක නම් වූ හමුදා සාමාජිකයාට ජනාධිපති සමාව දීම විසින් තහවුරු කෙරෙන්නේ එම සදාචාර ඇගයුමයි.එය කුමක්ද ?.

පසුගිය යුද්ධය පසුබිම් කරගෙන දකුණේ රජයේ මිලිටරිය අතින් සිදු වූ සිවිල් අපරාධයන් සම්බන්දයෙන් පැවතිය හැක්කේ සාමුහික විත්තිවාචකයකි.ඒ අනුව ගෝඨා පාලනය හා එහි මිලිටරි ආණ්ඩුකරණය විසින් මෙම අපරාධයන්  සම්බන්දයෙන් බෙදාගනු ලබන්නේ පොදු වගකීමකි.

එදා සන්නද්ධ හමුදාවන්ගේ නායකයා හා ආරක්ෂක ලේකම්වරයා අද පිළිවෙලින් අගමැතිවරයා හා ජනාධිපතිවරයාය.එදා ත්‍රිවිධ හමුදා ධූරාවලීන්ගේ ඉහළම අණ දෙන්නන් අද ගෝඨා ආණ්ඩුවේ ඉහළ තනතුරු හොබවන්නන්‍ ය.අද සිටින යුධ හමුදාපතිවරයා පමණක් සැලකුව හොත් ඔහු මේ වන විට කොරෝනා කාර්‍ය සාධක බලකායේ ප්‍රමුඛ බලධාරියාය..

ගෝඨාභයගේ බලාධිකාරයේ ප්‍රබලතම කුළුනක් වන හා පසුගිය යුධ සමයේ සිවිල් අපරාධයන්ට චෝදනා එල්ල වූ මෙම ඉහළ හමුදා නිලධරය අද වන විට එකී අපරාධ සම්බන්දයෙන් වන නෛතික යුක්තියෙන් නිදහස්‍ ය.

සුනිල් රත්නායක නම් වූ හමුදා සාමාජිකයා වැනි ධූරාවලියේ පහළ නියෝජනයන් පමණක් මරණීය දණ්ඩනයට ලක් වීම ඒ අනුව යුක්ති ධර්මයක් නොවේ.ගෝඨාභය ප්‍රමුඛ හමුදා නිලධරය විසින් මේ සිදුකරමින් තිබෙන්නේ මිලිටරි සමූහයක් විසින් පිළිපැදිය යුතු අවම සාදාචාරාත්මක යුක්තියයි.යුද්ධයෙන් සිදු වූ මානුෂීය අපරාධයන්ට අණ දුන් තමන් බලයේ ඉහළ වැජඹෙමින් එම අණ ක්‍රියා කළ පහළ හමුදා සාමාජිකයන් 'දංගෙඩියට යැවීම' සදාචාරවත් නැත.

ගෝඨා ප්‍රමුඛ හමුදා නිලධරය විසින් මේ සිදුකරමින් තිබෙන්නේ එකී අවම සදාචාරය පවත්වා ගැනීමයි.පොඩි දරුවන්ගේ බෙලි කපා මරා දැමීම එම සදාචාරයට ඇතුළත් නොවන්නේ එම දරුවන් ත්‍රස්තවාදී සතුරන්ගේ නොදන්නා නියෝජනයන් වන නිසාය.බලාධිකාරයට අවශ්‍ය වූයේ කොරෝනා වැනි වසංගතයකින් සමාජය හිරි වැටී ඇති මොහොතකි.

මානුෂීය සහන සේවයන් වල නිරත කරවීම හරහා  හමුදාව වන්දනීය තැනකට ඔසවා තැබෙමින් ඇති මොහොතකි..කොරෝනා භීෂණය අවුළුවා අපව නිවාස අඩස්සියට දමමින් තමන්ගේම වූ සදාචාර ව්නිශ්චයන් බලාධිකාරය විසින් යුක්ති යුක්ත කරමින් සිටියි.

විදර්ශන කන්නංගර ගේ ෆේස් බුක් ගිනුමෙනි