ශ්‍රීලනිප අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කරවීමට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති අතර ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුම ස්වකීය අත්සන් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ, මැතිවරණ පරාජයේ වගකීම අගමැතිවරයා මත පමණක් පැටවීම යුක්තිසහගත නොවන බවත්, ජනවාරි 08 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ජනාධිපතිවරයාට ශක්තිය ලබාදීම සඳහා යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යායුතු බවත් අවධාරණය කරමිනි.

ඒකාබද්ධයේ සහය ඇතත් නැතත් රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් අයකු පත්කරනවා ලු !
එසේම, ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදීමට සහයදෙන බවට ප්‍රකාශ කල එකාබද්ධයේ මන්ත්‍රීවරුන්ද අත්සන් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන එම විශ්වාස භංගයකට සහය දැක්වීමට ඔවුන් එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.
කෙසේවුවද අද පස්වරුවේ ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවූ ජනාධිපතිවරයා, ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතත් නැතත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් අයකු පත්කර අලුත් ආණ්ඩුවක් පත්කරන බව අවධාරණය කර තිබේ.

'රනිල් ඉවත්කරන්න ජනපතිට බලයක් නැහැ'
මේ අතර අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභිලාශය වී ඇතත් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දුන්නේය.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද 'ලංකා නිව්ස්වෙබ්' වෙත ප්‍රකාශයක් දෙමින් එම කාරණය අවධාරණය කර තිබිණ.
දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් : හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත් ; හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.
කෙසේවුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය ධුරයෙන් ඉවත්වීම මේවනවිට තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර වෙනත් අයකුට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්නම් එය පෙන්නන්නැයි ජනාධිපතිවරයා හමුවේ ඊයේ (14) රාත්‍රී අභියෝගකර තිබිණ.

