Language Switcher

V2025

කොරෝනා අස්සේ : නිවාඩ් කබ්‍රාල් යළිත් සේවක අර්ථසාධකයට බැල්ම හෙළයි !

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සිය තැම්පතු වලින් 20%ක් ලබාදිය  යුතු බවට ආණ්ඩුවේ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව මූල්‍ය - ආර්ථික සහ දේශපාලන ක්ශේත්‍රයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

 මේ සම්බන්ධව අදහස් දක්වන මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ තියෙන මතුව ඇති අර්බුදය සම්බන්ධව පමණක් නොව ආර්ථික අර්බුදය සම්බන්ධව පවා ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බව මේ හරහා පෙන්නුම් කරන බවයි.
 
හිටපු මහ බැංකු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්‍රාල් මේ ප්‍රකාශය සිදුකර ඇති බව ඊයේ (30) පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණි.
 
ඊට අනූව ඔහුගේ යෝජනාව වන්නේ පවතින තත්ත්වය හමුවේ රජයට බරක් නොවී ජනතාවට සහන සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල යොදාගත හැකි බවය.
 
මේ වන විට රුපියල් බිලියන 2500 ක් ඉක්මවා ඇති එම අරමුදලෙන් මේ වැඩසටහන සඳහා බිලියන 500ක් පමණ වැයවනු ඇතැයි ඔහු පෙන්වාදී ඇත. එය තුලින් විසිපන් ලක්ෂයක් වන සාමාජිකයන්  සඳහා රජය ට බරක්  නොමැතිව සහන සැලසීමට හැකි බව ඔහු ගේ අදහසයි .
 
එම මුදල් ආර්ථිකයට ගලා යාමට සැලැස්සවීම තුලින්  මේ මොහොතේ ණය වාරික ආදිය ගෙවා ගැනීමට  නොහැකිව සිටින  ජනතාවට මහත් පිටු වහලක් වන බවත් ඔහු පෙන්වා දී ඇත.
 
ආර්ථිකයට මෙවැනි මුදලක් අලුතින් ගලාඒම තුළ  ජනතාවගේ පරිභෝජන සහ ආයෝජන ශක්තිය වර්ධනය වීමෙන් ආර්ථිකය ක්ෂණික පිබිදීමක් ඇති වන බව ඔහුගේ අදහසයි.
මේ වැඩේ කරන්න ආණ්ඩුවක් ඕනද ? වසන්ත 
 
මේ සම්බන්ධව අදහස් දක්වන අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ පවසන්නේ කබ්බ්‍රාල් කී උපදෙස වී ඇත්තේ සේවකයන්ගේ සාක්කුවෙන් අරන් වියදම් කරන්න යන්නයි. මේ කියන්නේ බැංකුවේ තියෙන සල්ලි අරගෙන වියදම් කර ගෙන කන්න කියන කතාව බව ඔහු පවසයි.
 
නමුත් ලෝකයේ රටවල් සැළකීම ට  ගැනීමේ දී සිංගප්පූරුව තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 ක කොරෝනා අවධානම ට මුහුණ දීම සඳහා වෙන් කර ඇති බවත් බහරේන් රාජ්‍යය සියයට දාහතරක් වෙන්කර ඇති බවත් ඔහු පවසයි.
 
එමෙන්ම  දියුණු සංවර්ධිත රටවල් විශාල වශයෙන් මේ සඳහා මුදල් වෙන් කර ඇති බවත් ජර්මනිය සැලකීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන්  සියයට විසි දෙකක් තරම් පින් කර ඇති අතර නමුත් මෙරට වෙ කර ඇත්තේ 0.3ක්  තරම් සුළු ප්‍රමාණයක් බවත් ඔහු පවසයි . එ නම් ඩොලර් මිලියන 300කි.
 
මෙහිදී වසන්ත සමරසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මතුව ඇති අවධානමෙන් රට බේර ගන්න මෙම මුදල කිසිසේ ම ප්‍රමාණවත් නොවන බවයි. නමුත් රජය ගන්න ක්‍රියාමාර්ග තුල සේවක අර්ථසාධක අරමුදල මෙම  ක්‍රියාවලිය තුළ බිලි දීමට සැලැස්මක් ඇති බවත් ඔහු චෝදනා කරයි.
 
එසේ ම සේවක අර්ථ සාධක අරමුදල නිදහස් කිරීම හරහා සේවකයන්ට බලපෑමක් ඇති වෙන බවත් මෙයින් රටේ ආර්ථිකය යම් උත්තේජනයක් ඇති කලත් සේවකයන්ගේ සල්ලි වියදම් කිරීමට ආණ්ඩුවක් මොකටද යන ප්‍රශ්නයත් ඔහු මතු කරයි. එසේ ම මේ පෙන්නුම් කර ඇත්තේ ආන්ඩුවේ ක්‍රියාමාර්ග වල අසාර්ථකත්වය බව ද ඔහු පවසයි .
 
පුද්ගලයා ගැන පරිස්සම් වෙන්න ඉරාන් කියයි  !
 
මේ සම්බන්ධව අදහස් දක්වන හිටපු රාජ්‍ය මුදල් අමාත්‍යවරයා වූ ඉරාන් වික්‍රමරත්න පවසන්නේ 
මේ යෝජනාව සම්බන්ධ ව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව යි . එසේ ම එය  ඉදිරිපත් කරන පුද්ගලයා  මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කරන විට අදාල අරමුදල සම්බන්ධව විගණන  ප්‍රශ්න ඇති කරගත් අයෙක් බවත්  ඔහු පවසයි.
 
සේවක අර්ථ සාධක අරමුදල රජයේ එකක් නොවන බවත් එය ඇත්තේ සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයට  ගෙවීම සඳහා වන බැවින් එම අරමුදල පාවිච්චි කිරීමට නම් සේවකයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවත් ඔහු පවසයි.
 
නමුත් අද පාර්ලිමේන්තුව නො පැවැත්වෙන අතර ජනතා නියෝජිතය ද නොමැති බැවින් සේවක ප්‍රශ්න අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු පවසයි.
 
සල්ලි කොහෙද තියෙන්නේ හර්ෂ අසයි !
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ආචාර්ය හර්ෂ ද සිල්වා මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ඇති  මුද වලින් 95% ක් රජයේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර ඇති බවයි . ඒ අනුව යම් කිසි මුදලක් සේවකයන්ට ලබා දෙනවා නම් අදාල මුදල් රජය නැවත ලබා ගත යුතු බවත් ඔහු පවසයි . ඒ අනුව අදාල මුදල් එලියට ගන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් ඔහු පවසයි . එ බැවින් මේ සම්බන්ධව නැවත සිතා බැලිය යුතු බව ද ඔහු ගේ අදහස වී ඇත .
 
"අනික් පසින් රජය විශාල අභියෝගයකට මුහුණ දෙනවා මැයි මාසය වන විට"ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි .එහි දී ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ අවුරුද්ද ට එය උපරිම ණය ප්‍රමාණය අතුරු සම්මත ගිණුම හරහා ගෙන ඇති බැවින් ඉන් එහාට යාමට හැකියාවක් නොමැති බව ය . බලා පොරොත්තු නොවූ ආකාරයට රාජ්‍ය ආදායම බදු සංශෝධන හේතුවෙන් අහිමි වී ඇති බවත් ඒ සමග corona අර්බුදය පැමිණ රාජ්‍ය ආදායම් අඩු නමුත් වියදම් වැඩිව ඇති බව ද ඔහු පෙන්වා දෙයි .එහි දී අලුතින් මුදල් අච්චු ගැසීමට වුවත් ණය ගැනීමේ උපරිමය දැමීම අවශ්‍ය බවත් ඊට ද පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඔහු පවසයි .