Language Switcher

V2025

වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියව, දැනට සති කීපයකට පෙර ජාතික වීරයෙක් බවට උත්කර්ෂයට නංවන්න බෝහෝ දෙනෙක් වෙර දරා තිබුණි.

හේතුව වුයේ, කොරෝනා වසංගතය අස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට අාණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ කරීමට ඔහු කටයතු කර තිබීමය.

මේ තීරණය නිසා හතරගාතෙන් වැටුණු ආණ්ඩුවේ සමහර උදවිය දේශප්‍රියව දැක්කේ ද්‍රෝහියෙක් විදිහටය.

සති කිපයයක් ගෙවී ගියා විතරය , දැන් මේ දෙගොල්ලෝ නොපිට පෙරළිලාය. වීරයා කියපු අය දැන් ද්‍රෝහියා කියනවාය . ද්‍රෝහියා කියපු අය දැන් මෙයාව වීරයා කර නොනැවතී අල්ලලා ඉඹ ගන්නට තරම් ලං වෙලාය.

මේ අලකලංචිය තේරුම් ගන්න බැරි හුඟක් අය දැන් ඉන්නේ අන්දමන්දවය.

ඇත්තටම මහින්ද දේශප්‍රිය වීරයෙක් ද? නැත්නම් ද්‍රෝහියෙක් ද?

හුදු පුද්ගලයෙක් විදිහට ඔහුගේ හැසිරීම දිහා බලා මේ ප්‍රශ්නවලට උත්තර සොයා ගත නොහැක.

ඒක සෙවීමට නම් , ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට ඔහුගේ හැසිරීම හා ක්‍රියාකාරිත්වය සියුම්ව නිරීක්ෂණය කළ යුතුය.

රටේ පවතින වත්මන් අර්බුදයේ එක් වැදගත් මූලාරම්භයක් වුයේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් මාසයේ දී සිදු කළ පාර්ලිමේන්තුව විසුරවීමය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති සිරිසේන කරපු ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඕනෑම පොඩි එකෙකුට පවා තේරෙන කාරණයක්ය.

නියමිත කාලසීමාවට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවිය නො හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා හොඳින් දන්නා දේශප්‍රියට නොතේරෙන්න විදිහක් නැත. නමුත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස ඔහු සිදු කළේ කුමක්ද?

ආණ්ඩුව විසිරපු සැනින් ඔහු නාමයෝජණා කැදෙව්වේය.. සැබැවින්ම ඔහු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථානුකූල නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුු හෙයින් ශේෂ්ඨාධිකරණයෙන් මඟපෙන්වීමක් ලබා ගැනීමට කටයුතු කිරීමය.

නාමයෝජණා කැඳවීම හෝ නොකිරීම හෝ කරන්නට තිබුණේ ඉන් පසුවය. නමුත් ඔහු එම වගකීම සහ යුතුකම පැහැර හැරියේය.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තමන්ගේ වගකීම පැහැර හළ අවස්ථාවේ , කොමිෂමේ සාමාජිකයෙක් වුු මහාචාර්‍ය රත්නජීවන් හූල් මහතා , පුද්ගලිකව මීට විරෝධය දක්වා අධිකරණයට ගියේය.

ඉන් අනතුරුව දේශපාලන පක්ෂ ඇතුළුව තවත් කණ්ඩායම් 13 ක් අධිකරණය හමුවේ මේ විසුරවීම අභියෝගයට ලක් කළහ.

ජනාධිපති සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවටත්, පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධී බවටත් ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ මේ අනුවය.

අධිකරණය විසින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කර නොදුන්නා නම්, මහින්ද දේශප්‍රිය විසින් කැඳවූ නාම යෝජණා අනුව නීති විරෝධී මැතිවරණයක් සේම නීති විරෝධී ආණ්ඩුවක් එදා බිහිවන්නට නියමිතව තිබිණ.

අනෙක් සිද්ධිය , පසුගිය ජනාධිපති මැතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ගේ නාමයෝජනා භාර ගැනීම පිළිබඳ ගැටලුවය.

ගෝඨාභය රාජපක්ෂ, ජනධිපතිවරණයේ දී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට නිළ වශයෙන් ප්‍රකශයට පත් වූ විට , ඔහුගේ ඇමරිකන් පුරවැසිභාවය පිළිබඳව සමාජය තුළ දැඩි සාකච්ඡාවකට බඳුන් විය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට අනුව ද්විත්ව පුරවැසිභාවයක් සහිත පුද්ගලයෙකුට මැතිවරණයක අපේක්ෂකයෙකු වීමට නොහැකිය. 19 වැනි සංශෝධනය සම්මත වුණාට පසු ගීතා කුමරසිංහගේ මන්ත්‍රී ධූරය අහිමි වෙන්නේ මේ නීතියට අනුවය.

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීමට අයදුම් කර ඇති බවත්, එය නුදුරේදීම පෙන්විය හැකි බවත්, රාජපක්ෂ පාර්ශවයෙන් කියැවුණත්, නාම යෝජණා දෙන තුරු එවැන්නක් සිදු වූ බවට කිසිදු ලිඛිත සක්ෂියක් ඉදිරි පත් කිරීමට ඔවුන්ට නොහැකි විය.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමේ දිනය ඉකුත් වෙන්නට පෙර , මාධ්‍යවේදීන් සහ විවිධ සංවිධාන මේ පිළිබඳව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් විවිධ අවස්ථාවලදී විමසීය.

" විදේශ රටක පුරවැසිභාවයක් හිමි පුද්ගලයෙකුට මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ. නාම යෝජනා භාර ගැනීමේදී ඔබ එය පරික්ෂා කරනවාද? "

මාධ්‍යවේදියෝ විසින් අැසු මේ ප්‍රශ්නයට සභාපතිවරයාගේ උත්තරය වුයේ " 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත වීමේන් පස්සේ, ඊට අනුව ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය නොවුණු නිසා ද්විත්ව පුරවැසිභාවය පරීක්ෂා කරන්න මට බලයක් නෑ. " යන්නය.

මේ අවස්ථාවෙදිත් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වූ රත්නජීවන් හූල් මහතා කියා සිටියේ, මැතිවරණ පණත සංශෝධනය කරන්න වෙලාවක් හෝ අවශ්‍යතාවක් දැන් නැති නිසා මැතිවරණ කොමිෂම විදිහට අධිකරණයට ගොස් ද්විත්ව පුරවැසිභාවය සෙවීමේ බලය කොමිෂමට ලබා ගත යුතු බවය.

මහාචාර්‍යවරයාගේ තර්කය වුයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මෙය පැහැදිළිව තිබෙන නිසා ශේෂ්ඨාධිකරණය මේ අයිතිය කොමිෂන් සභාවට ලබා දෙන බවය.

නමුත් කොමිෂන් සභාව අධිකරණයට ගියේ නැත.

නාම යෝජණා භාර දෙන අවස්ථාවේ කවුරුන් හෝ ගෝඨාභය ගේ නාමයෝජණා පත්‍රය පිළිබඳව විරෝධය ප්‍රකාශ කළා නම් ඒක නිෂ්ඵල දෙයක් වනවා නො අනුමානය. මහින්ද දේශ්ප්‍රිය ඒ විරෝධය නොතකා ස්ථීරවම ගෝඨාභයගේ නාම යෝජණා පත්‍රය භාරගන්නවාය. හේතුව, ඔහුට ද්විත්ව පුරවැසිභාවය පරික්ෂා කිරීමට බලයක් නැති බව ඔහු ඊට කලින්ම කියා අැති නිසාය.

එසේම මැතිවරණ ප්‍රකාශයට පත් කළ සෑම අවස්ථාවකදීම ජන මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් කොමිෂමේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය ක්‍රියා කළ කාරය ද අභව්‍ය ය.

මැතිවරණ සමය තුළ රාජ්‍ය මාධ්‍ය තුළට කඩා පනින සභාපතිවරයා, ඒ වන විට විසුරුවා හරිමින් තිබෙන වැඩ සටහන් පවා නවතා දැමීමට තරම් නිර්භීත වේනවාය.

එහෙත් පුද්ගලික මාධ්‍ය දෙස අැසක් අැර බලන්නේ නැත. පුද්ලික ආයතන එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා රෙදි නැතිව අශික්කිත ලෙස හැසිරෙන විට, සභාපතිවරයා අනුගමනය කරන්නේ නෑසූ කණින් යුතුව ඉවසා වැදෑරීමේ පිලිවෙතක්ය.

මේ සම්බන්ධයෙන් සමාජය ප්‍රශ්න කළ විට ,ඔහු පවසන්නේ පුද්ගලික මාධය නියාමනය කිරීමේ බලයක් තමන්ට නැති බවයි.

මැතිවරණ සමයක පිළිපැදිය යුතු මාධ්‍ය උපමාන ක්‍රියාවට යෙදිය යුත්තේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොවන බව ඔහු හොදින් දනී.

පුද්ගලික මාධ්‍ය ආයතනවලට උපමාන කිරියාත්මක කිර්‍රිමට නියෝග දීමට තම කොමිෂමට බලයක් ලැබී නොමැති නම්, ඒය ලබා ගැනීමේ කටයුත්ත කළ යුත්තේ ද කොමිෂම මිස වෙනත් පුද්ගලයෙකු නොවේය.

ඔහුගේ සේවා කාලය තුළ මැතිවරණ කොපමණක් පවත්වා ඇති ද? එහෙත් ඔහු මේ බලය තම කොමිෂම වෙත ලබා ගැනීම සඳහා අවශ්‍ය කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැත. ඉදිරියේ පවත්වන මැතිවරණයේදීත් ඔහු ලබා දෙන්නේ පැරණි පිළිතුරමය.

මහින්ද දේශප්‍රිය යනු මැතිවරණ කොමිෂම තුළ සිටින හය හතර නොදන්නා බබෙක් නොවන බව කවුරුත් දනිති. ඔහු 1983 තරම් ඈත කාලයක සිට මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙකි. මැතිවරණ කොමසාරිස් ලෙස ද, ඉන් අනතුරුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ද ඔහුගේ සෙවා කාලය පලපුරුදු සහිතය.

මැතිවරණ කොමිෂමට නොමැති යැයි කියන, එහෙත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර දීම සඳහා තම කොමිෂම වෙත ලබා ගතයුතු බලතල කවරේද යන්න ඔහු හොඳින් දන්නා නමුත්, මේ තරම් විශාල කාලයක සිට ඒවා ලබා ගැනීම වෙනුවෙන් ඔහු ක්‍රියා නොකිරීම අතපසුවීමක් යැයි කාටනම් කිව හැකිද?

කොමිෂම නඩත්තු වෙන්නේ ජනතා මුදලෙනි. ඒ නිසා කොමිෂම ක්‍රියා කළ යුත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරිම වෙනුවෙනි. ඒ සඳහා අවශ්‍ය බලය ලබා ගැනීමට අධිකරණයට යා යුත්තේ කොමිෂමය. ඒ සඳහා යම් වියදමක් යන්නේ නම් ඒය ද ජනතාවගේ මුදලින් සිදුවිය යුතුය. ඊට කිසිවකු විරුද්ධ නොවනු ඇත.

එහෙත් කොමිෂමේ වගකීම හා යුතුකම නිසි පරිදි ඉටු නොකොට , සෑම සිදුවීමකටම පසු , දේශප්‍රිය පවත්වන සාකච්ඡවලදී ඔහු දොස් පවරන්නේ ජනතාවටය.

ඔහු නිතර අසන කෝචෝක් ප්‍රශ්නයක් තිබේ. ඒ නම්, " කෝ කවුරුවත් විරුද්ධ වුණේ නෑ නේ. කෝ කවුරුත් උසාවි ගියේ නෑ නේ "

ජනතා මුදලින් නඩත්තුවන ස්වාධීන කොමිෂමක්, ජනතාව විරුද්ධවන තුරු හෝ ජනතාව උසාවි යනතුරු හෝ බලා සිටීම කෙතරම් ඛේදජනකද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

සභාපතිවරයාට අනුව ජනතාව අධිකරණයට ගොස් කොමිෂමට අයිති බලතල ලබා දිය යුතුය. මෙය කොතරම් නිවට නියාලු කමක්ද? නැතිනම් කොතරම් කෛරාටික කමක්ද? යන්න තොර බේරා ගැනීම ජනතාවට බාර කළ යුතුය.

නීති විරෝධී දේ සිදුවන්නට ඉඩ දී, පසුව ඒ ගැන තදින් විවේචනය කිරීම ද දේශප්‍රියගේ තවත් ජනප්‍රිය කලාවකි. ඊට හොඳම මෑත උදාහරණය වන්නේ පසුගිය ජනාධිපතිවරණය ය.

මැතිවරණ සමයේ කැළණිය විහාරයේ නාග ලෝකෙන් ගෙනා ධාතු ප්‍රදර්ශනය කිරීමත්, ඒවා වන්දනමානයට ආ මිනිසුන්ට නෙලුම් පොහොට්ටු ලබා දෙමින් එක් පක්ෂයක ලාංඡනය ප්‍රවර්ධනය කිරීමත් සිදු විය. එම ක්‍රියාව නතර කිරීමට බලය කොමිෂන් සභාවට තිබියදීත්, කිසිවක් නොකර සිටි සභාපතිවරයා, මැතිවරණයේ නිළ ප්‍රථිඵල ලබා දීමේ උත්සවයේදී ධාතු වන්දනාව සහ පොහොට්ටු බෙදාදීම දැඩි ස්වරයකින් විවේචනය කරමින් සැර කතාවක් කිරීමට නම් වගබලා ගත්තේය. එමගින් ජනතාව ඒ මොහොතකට චූන් කරවීමට ඔහුට හැකි විය.

මැතම සිද්ධිය, කොරෝනා වසංගතයට ඈඳුණු මැතිවරණය කල්දැමීමය.

පාර්ලිමේන්තුව විසරවූයේ මාර්තු 02 වැනිදාය. ඡන්ද විමසිය දිනය වූයේ අප්‍රේල් 25 වැනිදාය. ලංකාවේන් කොරෝනා ආසාදිත චීන කාන්තාව හමුවූයේ පාර්ලිමේන්තුව විසුරවන්නට පෙරය. මර්තු 10 වන විට ලාංකික කොරෝනා ආසාදිතයා හමුවිය.

මේ අවස්ථාවේදී ද මැතිවරණ කොමිෂමේ සාමජික රත්නජීවන් හූල් කියා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීම වැරදි බවය. පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා වහාම අවලංගු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. නැතිනම් ඒකාධිපතියෙකු මතුවීම වැලැක්විය නොහැකි බවද ඔහු කීවේය.

නාමයෝජණා භාර ගැනීමේ අවසන් දිනය වූයේ මාර්තු 19 වැනිදාය. කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන නාමයෝජණා භාර ගන්නට පෙර මැතිවරණය කල් දමා ගැනීම සඳහා මැතිවරණ කොමිෂමට අධිකරණයේ සහාය පතන්නට හොඳටම ඉඩ කඩ තිබුණි. නමුත් එය එසේ නොවුණි.

කොමිෂම කළේ නාම යෝජණා භාර ගෙන ඊට පසුව නිශ්චිත දිනයක් සඳහන් නොකොට මැතිවර්ණය කල් තැබීමය.

ඉන් අතුරුව කොමිෂම ජනාධිපති ලේකම්ට ලිපි දෙකක් යොමු කළේය. මාර්තු 31 සහ අප්‍රේල් 01 දින දාතමින් යොමු කළ මෙම ලිපි දෙකෙන්ම කොමිෂම දැන්වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් තුළ නව පාර්ලිමේන්තුව රැස්වියයුතු දිනය වන ජුනි මස 02 වැනිදාට පාර්ලිමේන්තුව රැස්කිරීමට නොහැකි වන බවය .

මෙයින් පැන නඟින ව්‍යවස්ථා ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් නීතිපතිවරයා ගේ සහ ශේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාට එමගින් යෝජන කර තිබිණි.

ජනාධිපති ලේකම් ඊට පිළිතුරු වශයෙන් කීවේ මැතිවරණ පැවැත්වීමේ දිනය කල දැමූ කොමිෂම ම වෙනත් දිනයක් ලබාදිය යුතු බවය. තමන්ට ශේෂ්ඨාධිකරණයට යෑමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව ද එහි සඳහන් විය.

මේ අතර තුර ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රබලයන් කොමිෂමට බලපෑම් එල්ල කරමින් සිටින බවට රාවයක් පැතිරිණු අතර, දකුණු පලාතේ ආණ්ඩුකාරවරයාව සිටි කීර්ති තෙන්නකෝන්ගේ මුහුණු පොතේ ආන්දෝලනාත්මක වැකියක් පළ විය.

එහි දක්වා තිබුණේ " මැතිවරණය මැයි 28? " ලෙසය. මේ වැකියට ප්‍රතිචාරයක් දක්වා තිබුණු මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේසප්‍රිය , " ඔයා කොහොමද ඒක දන්නේ ? " යැයි අසා තිබිණ. කීර්ති තෙන්නකෝන් යනු බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙක් ය.

මේ වන විට යාපනය පිහිටි සිය නිවසේ රැඳී සිටි කොමිෂමේ සාමාජික රත්නජීවන් හූල් මහතා හදිසියේම තම නිවසට මාධ්‍යවේදීන් කිහිප දෙනකු කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී ඔහු කියා සිටියේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා තමාට දුරකථනයෙන් කතා කොට මැතිවරණය මැයි 28 වැනිදා පැවැත්වීමට යෝජණා කළ බවය. එ් සම්බන්ධයෙන් තමා මැතිවරණ කොමිෂමට ලිඛිතව දන්වා යැවූ බවද ඔහු පැවසීය.

අප්‍රේල් 18 නිවේදනයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ පැවසුවේ පාර්ලිමේන්තු පණත අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් දීමට කොමිෂම බැඳී සිටින බවය. දින නියම නොකර මැතිවරණය කල් දැමීමට කොමිෂමට බලයක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබිණ.

අප්‍රේල් 20 වැනි දින මැතිවරණ කොමිෂම රැස්වීමට පෙර කොමිෂමේ සභාපති මහින්ද ,තම මුහුණු පොතේ සටහනක් පලකොට තබුණි. එහි සඳහන් වූයේ කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බවය.

කොමිෂමේ තීන්දුව ප්‍රකාශ කිරීමට මොහොතකට කලින් තම මුහුණු පොතේ සටහනක් දමා තිබූ මහින්ද රාජපක්ෂ කියා තිබුණේ , තමන් පාසල් අාරම්භ කිරීමට හෝ මැතිවරණයක් කැඳවීමට හෝ කිසිදු බලකිරීමක් නොකළ බවය.

අප්‍රේල් 20 රැස්වුණු කොමිෂම අවසානයේදී මැතිවරණය පැවැත්වීමේ දිනය ලෙස ජුනි 20 වැනි දිනය තින්දු කිරීමට කටයුතු කළේය.

මෙතැනද අදහාගත නොහැකි කරුණක් තිබේ.

එනම් කොමිෂමේ සභාපති මීට පෙර ජනාධිපති ලේකම්ට යැවූ ලිපි දෙකේම සඳහන් කර තිබූ කරුණු වලට පරස්පර තීන්දුවක් ගැනීමට ඔහු දායකවීමය.

ඔහු ජනපති ලේකම්ට යැවූ ලිපි දෙකේම දන්වා ඇත්තේ ජුනි 02 ට පෙර නව පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් මතුවන බවය.

එසේ තිබියදීත් මැතිවරණය පැවැත්වීම ජුනි 20 ලෙස නියම කරන්නේ කුමණ පදනමක් මතද? ඒ අනුව පෙර කියූ ව්‍යවස්ථා අර්බුදය මතු නොවන්නේද?

මේ අතර ජුනි 20 යන දිනය නැවතත් වෙනස් කළ හැකි බවට මේ වන විට ඉඟි මතු කොට ඇත.

කේසේ වෙතත්, රට සම්පූර්ණයෙන් අර්බුදයෙන් අර්බුදයට ගමන් කිරීම වැලැක්විය නොහැක. ඒ අනුව රටේ කුමණ දේශපාලන බල තන්ත්‍රයක් නිර්මාණය කිරීමට කුමණ කණ්ඩායමක් සැලසුම් කරමින් සිටීද යන්න පිළිබඳව සවිඥාණික වී සිටීම වැදගත්ය.

මෙම අර්බුදය නිර්මාණය කිරීමට මැතිවරණ කොමිෂමේ වගකීම් සහ යුතුකම් පෑහැර හැරීම සෘජු ලෙසම දයක වී ඇති බව පැහැදිලිය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට තුනෙන් දෙකක ජන වරමක් ඉල්ලු අයම , එම සංශෝධනය යටතේ පිහිටවු මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි සභාපතිවරයාට ස්තෝත්‍ර ගායනා කරන තරමටම මේ වනවිට වෙනස් වී අැත. මෙි වෙනසට පාදක වු සැබෑ හේතුව දැකිය හැක්කේ මසැසින් නොව නැණැසින්මය.

ඒ අනුව වීරයා සහ ද්‍රෝහියා අතර වෙනස හඳුනා ගැනීමට හැකිවනු ඇත.

සුනිල් ගාමිණී

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found