Language Switcher

V2025

සිරිලක විජයග්‍රහණයේ යෝධ ශක්තිය !

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ඒ 1945 වසරේ පොසොන් මාසයේ අවසන් දින කිහිපයයි. සමස්ත දේශයටම ආලෝකයත්, සිසිලසත් දෙමින් පොසොන් සඳ අහසේ බැබළෙමින් තිබුණි. මිනිසා විසින් මිනිසාට එරෙහිව සිය බලය තහවුරු කරගැනීම සඳහා සිදුකෙරෙන යුද්ධයන්හි එදා මෙදා තුර අති දරුණුතම ඛේදවාචකය වූ පරමාණු බෝම්බයේ අත්දැකීම් ලැබූ ලෝකය සාමය හා සංහිඳායාවේ අත්‍යවශ්‍යතාවය හඳුනාගනිමින් තිබුණි. මව් බිමේ සංහිඳියාවත් වෙනුවෙන් සිය ජිවිතය පවා පරදුවට තබමින් කැපවන සාමයේ දෙව්දුවක් 1945 ජුනි මස 29 වන දින කොළඹ නගරයේ පිහිටි “වෙන්ඞ්ට්වර්ත් මන්දිරය” නම් නිවසෙහි දී මෙලොව එළිය දුටුවාය.

ඇයගේ ආදරණීය පියාණන් වූයේ එංගලන්තයේ ඔක්ස්ෆ්ර්ඞ් සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පදවියට පත් වූ ප්‍රථම ආසියාතිකයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක නම් බැරිස්ටර් වරයාය, ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ මෙරට බිහිවූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන කටයුතු පිළිබඳ විධායක කාරක සභාවේ සභාපතිවරයා හෙවත් එම විෂය භාර කැබිනට් අමාත්‍යවරයාය. පසු කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ලෝක වාර්තා තබමින් අප මව්බිමේ අග්‍රාමාත්‍ය පදවියට පත්ව ජාතික සමගිය හා සංහිඳියාව උදෙසා සිය ජීවිතය ද පුජා කළ සැබෑ මානවවාදියාය. යුරෝපීය හා බටහිර ජාතීන් කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අරගල කරද්දී රටක අගමැති පදවියට පත්වූ පළමු කාන්තාව ලෙස ලෝක ඉතිහාසයට එක්වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇගේ මව්තුමිය විය. ලෝක යුද්ධය දක්වා පැතිරයා හැකිව තිබූ ඉන්දීය හා චීන දේශ සීමා අරගලය අවසන් කර ඒ දෙරට අතර සාමය හා සංහිඳියාව ඇතිකරලීමේ සාම දුතිකාව වූ එතුමිය බෙල්ග්‍රේඞ් නුවර පැවති පළමු නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහාභාගී වූ එකම රාජ්‍ය නායක මාතාව ලෙස ඉන්දියානු සාගර සාම කලාප යෝජනාව ඉදිරිපත් කරමින් ඊට සහභාගී වු සියලු රාජ්‍ය නායකයින්ගේ එකඟතාව ඒ සඳහා ලබාගත්තා ය. ලංකාවේ මුහුදු සීමාව වැඩිකර ගැනීමටත් කිසියම් දිනක ලංකාව හා ඉන්දියාව අතර යුධමය තත්ත්වයක් ඇතිවීමට ද හේතුවිය හැකිව තිබූ “කච්චතිව්” දූපතේ අයිතිය නිල වශයෙන් ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමටත් එතුමිය සමත් වූවාය.

සිය දේශය පමණක් නොව සමස්ත ලෝකයේ ම සාමයත් සංහිඳියාවත් උදෙසා ජීවිත කැපකළ එවන් දෙමව්පිය යුවලකගේ ආදරණීය දියණියක වූ අප කතානායිකාව ද කුඩා කල සිටම සිය දෙමව්පියන් සතුව තිබූ සාමය හා සංහිඳියාව වෙනුවෙන් වූ, කැපවීම, අවංක බව හා මානවවාදී බව යන ගුණාංගයන්හී සැබෑ ප්‍රතිමුර්තියක්ම වූවාය. සිය මවත් පියාත් දෙදෙනාම රාජ්‍ය නායකත්වය දැරූ පවුලක දියණියක ලෙස ඒ තත්ත්වයෙන් හිස උදුම්මාගෙන රටටත් ජනතාවටත් හිසරදයක් වන දරුවකු ලෙස නොව වඩාත් නිහතමානී දරුවෙකු ලෙස ඇගේ පාසල් දිවියද ගතවිණි. කලාව හා සාහිත්‍යය හැදෑරීමෙන් කෙනෙකු වඩාත් දැනුවත් හා සංවේදී අයෙකු වන බව හොඳින් දැන සිටි සිය මෑණියන්ගේ මග පෙන්වීමෙන් සිංහල සංස්කෘති ආයතනයේ ශ්‍රී ජයනා ගුරුතුමන් යටතේ ඇය දේශීය නර්තනය ඉගෙන ගත්තාය. පාසල් දිවියෙහිදී තම නිවසේ කාලය ගත කරන බොහෝ අවස්ථාවන් හී ඇය සිය පියාණන්ගේ පොත් කාමරයට රිංගාගත්තාය. එහිදී ඇයට මුණ ගැසුණු මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්.ඒ.සිල්වා, මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි දේශියයන් පමණක් නොව විලියම් ෂේක්ස්පියර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ඇන්ටන් චෙකෝෆ් වැනි බටහිර ජාතීන්ද මැක්සිම් ගෝර්කි, නිකොලායි ඔස්ත්‍රොව්ස්කි, පර්ල් ඇස් බක් වැනි රුසියානු හා පෙරදිග සාහිත්‍යධරයින්ද හොඳින් ඇසුරු කළාය.

 මේ අතර සිය මවගේත් පවුලේ ඥාතීන්ගේත් විවිධ ඉල්ලීම් සහ යෝජනා මත විවාහය පිළිබඳ අවධානය යොමුකරන ඇය, එහිදී ද කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි තරමේ තීරණයක් ගත්තාය. විවාහය ගැන සිතන ඕනෑම තරුණියක් තම “සිහින කුමරා” කරගන්නේ තමන්ට වඩා වත් පොහොසත් කමින් යුතුවු, තමන්ට වඩා උසස් සමාජ මට්ටමකින් යුතු වූ අයෙකු මෙන්ම තමන් පෝෂණය කිරීමටත් තමන්ට ආරක්‍ෂාව ලබාදීමටත් හැකි අයෙකුවිම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් මේ තෝරාගැනීමේ දී ද ඇය අසාමාන්‍ය වූවාය. ඇයට අවශ්‍ය වුයේ තමාගේ ආරක්‍ෂකයෙකු හෝ තමන් පෝෂණය කළ හැකි අයෙකු නොවේ. තමන්ට වඩා වත් පොහොසත් කමෙන් හෝ උසස් ප්‍රභූ තත්ත්වයකින් යුතු අයෙකු ද නොවේ. තමන් හා සමානවම හෝ තමන්ට ඉදිරියෙන් තමන් අදහස් කරන සාමය හා සංහිඳියාව රටට ලබාදෙන්නට තමන්ට මගපෙන්විය හැකි අයෙකි. තමන් ඉටුකරන පොදුජන සේවාවෙහි දී තමන්ට අවංකවම සහායවිය හැකි හොඳ සහායකයෙකි. තමන් පමණටම මානවවාදී විය හැකි අවංක, නිර්භය පුද්ගලයෙකි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වූ විජය කුමාරතුංග නම් කලාකරුවා තමන් සොයන මේ ගුණාංගයන්ගෙන් හෙබි අයෙකු බව හඳුනාගත් කෙටිකාලය තුළම අවබෝධ කරගත් ඇය ඔහු හා අතිනත ගන්නට අගනුවර සිය නිවසේ සඳළුතලයෙන් බැස මරදවැල්ලට පා නැගුවාය. 1978 පෙබරවාරි 20 දින සිදුකෙරුණු මේ විවාහය නිසා මෙතෙක් චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක නම් වූ අප කතානායිකාව එතැන් සිට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වූවාය.

සිය ආදරණීය ස්වාමියාගේ සහයෝගයත් ශක්තියත් නොමඳවම ලැබූ චන්ද්‍රිකා මැතිනිය ඔහුත් සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එහි පාක්ෂිකයනුත් වැටී සිටි තැනින් යළි නැගිටුවන්නට දිවා රෑ නොබලා වෙහෙස වූවාය. කුඩා කාලයේදී සිය ආදරණීය පියතුමන් කුරිරු කුමන්ත්‍රණකරුවන්ගේ ගොදුරක්ව සිය නිවස තුළදීම ඝාතනයවීමේ අද්දැකීම ලබාසිටි එතුමිය තමන් සතු ඉඩම් අක්කර 4000 ට වැඩි ප්‍රමාණයක් මහජනතාව වෙත ලබාදීමේ උදාර කාර්යය කණපිට පෙරළමින් එජාප නායකයින් විසින් ඒ පිළිබඳ බොරු චෝදනා කරමින් සිය ආදරණීය මෑණියන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකර ඇය දේශපාලන වශයෙන් ඝාතනය කිරීමේ අද්දැකීම් ද ලැබුවාවය. ඒ අතරම පක්‍ෂය ඇතුළතින්ම තම එකම සොහොයුරාද සම්බන්ධ කරගනිමින් සිදුකෙරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩවීමේ අද්දැකීමට ද එතුමිය මුහුණ දුන්නාය. එහිදී සිය ස්වාමියා සමඟ එක්ව පක්‍ෂ නායිකාව වූ සිය මෑණියන් තනි නොකොට එවක පක්‍ෂයේ මහ ලේකම් පදවිය දැරූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ ද මගපෙන්වීම මත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රැකගැනීම සඳහා එතුමිය පෙරමුණ ගත්තාය.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික දුර්දාන්ත පාලනය නිසා 1983 කළු ජූලියෙන් පසුව උතුරේ ඇතිවූ ජනතා නැගිටීමි ප්‍රභාකරන් ඇතුළු අන්තවාදීන් විසින් සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය කරද්දී උතරේ ජනතා නැගිටීම් වල සැබෑ ස්වරූපය හඳුනාගත් එතුමිය උතුරේ ජනතාව එම අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන ඔවුනගේ ගැටළු සඳහා සැබෑ විසඳුම් ලබාදිය යුතු බවට සිය හඬ අවදි කළාය. මේ අතරම එක්සත් ජාතික පක්‍ෂ රජයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති වියරුවට එරෙහිව දකුණේ සිදු වූ තරුණ නැගිටීම් දඩමීමා කරගනිමින් මේ රට “මීනිකන්නන්ගේ දේශයක්” බවට පත්කරන්නට එම රජය කළ කටයුතු වලටද එරෙහිව නැගී සිටියාය. උතුරේ අන්තවාදීන් විසින් රජයේ හමුදා සෙබලුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගනිමින් රජයට අභියෝග කරද්දී ඔවුන් බේරාගැනීමට උතුරට යාමට තබා උතුර ගැන කතාකරන විට ද රජයේ නියෝජිතයින්ගේ දෙපා තෙමෙන්නට විය. එවන් වකවානුවක උතුරේ අන්තවාදීන් රඳවාගෙන සිටි අහිංසක හමුදා නියෝජිතයින් නිදහස් කරගැනීම සඳහා සිය ජීවිතය පවා පරදුවට තබමින් තම ස්වාමියා සහ තමන් සතුව තිබු උදාරතර මානවවාදී බව ලෝකයටම අවබෝධ කරදෙමින් තම ස්වාමියා ඇතුළු කණ්ඩායමක් සමඟ උතුරේ අන්තවාදීන් හා සාකච්ඡාවන්ට උතුරට යෑමට එතුමිය ද නොබියව එක්වුවාය.

කරුණු තවදුරටත් මෙසේ සිදුවුවහොත් තමනට ඇතිවිය හැකි අවදානම පුරෝකථනය කළ කුමන්ත්‍රණකරුවන් විජය - චන්ද්‍රිකා යුවළගේ මේ ගමන නැවැත්වීම සඳහා කළ හැකි උපරිමය කිරීමට සැලසුම් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය විවාහ ජීවිතයේ දස වන සැමරුමට දින 04 ක් තිබියදී සිය ගෙමිදුලේදී මුහුණ කුඩුවෙන්නට වෙඩිතබා ඝාතනය කෙරුණු සිය ආදරණීය ස්වාමියාගේ නිසල සිරුර වැලඳගන්නට එතුමියට සිදුවිය. යශෝධරා සහ විමුක්ති නම් කුඩා දරු දෙදෙනාද සමඟ යලිත් තනිවු චන්ද්‍රිකා දියණිය තමන් ජීවත්ව සිටියදී ඝාතනය වනු දැකීමට අකමැති වූ සිරිමවෝ මැතිනිය විජය කුමාරතුංගයන්ගේ අවමගුල් කටයුතු අවසන් වූ වහාම ඇය සහ දරු දෙදෙනා විදේශගත කරන්නට පියවර ගත්තාය. කුමන්ත්‍රණකරුවන්ගේ අධම ක්‍රියාවන් හමුවේ අඩියක් පසුපසට ගත්තද සදාකල් ඔවුනට ජය ලබාදීමට නොකැමති වූ චන්ද්‍රිකා මැතිනිය ජීවිත ආරක්‍ෂාව පතා විදේශගතව සිටියදී පවා සිය මව් බිමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් පිළිබඳව අවධානයෙන් කටයුතු කළාය.

1988 පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයලැබීමෙන් පසු දකුණේ පැවති භිෂණයට යම් විරාමයක් ලැබුණු බව වටහා ගත් චන්ද්‍රිකා මැතිනිය ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය ඩැහැගැනීම සඳහා ක්‍රියාත්මක වූ පක්‍ෂයේ ම කල්ලි පිළිබඳව ද අවබෝධයෙන් සිටියාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැඩි ලෙස ආදරය කරන පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් හා සාමාජිකයින් පිරිසක් සමඟ නිතර අදහස් හුවමාරු කරගනිමින් සිටි එතුමිය සිය මවගේ පක්‍ෂ නායකත්වයත් පාක්‍ෂිකයාත් රැකගැනීමට නම් තමන් යළි මව් බිමට පැමිණිය යුතු බවද අවබෝධ කරගත්තාය. ඒ අනුව 1991 වසරේ මුල් භාගයේ දී යළිත් සිය මව් බිමේ පදිංචියට පැමිණෙන චන්ද්‍රිකා මැතිනිය එතැන් සිට යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ඒ පාක්‍ෂිකයාත් අවදිකරමින් පක්‍ෂය ජයග්‍රහණයේ මාවතට රැගෙන එන්නට කැපවූවාය.

චන්ද්‍රිකා යුගය ආරම්භ විය. “නව සියවසේ සත්‍යයේ හඬ” තේමාවෙන් 1993 මැයි 17 දින පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්‍ෂිකාවක ලෙස ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය එදා මෙදාතුර පළාත් සභා මැතිවරණයක වැඩිම මනාප ලාභිනිය ලෙස වාර්තා තබමින් බස්නාහිර පළාත් සභාවේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණුට දිනා දුන්නාය. බස්නාහිර පළාත් සභාවේ ප්‍රථම මහඇමතිවරිය වූ එතුමිය ක්‍රියාත්මක කළ ජනතාවාදී වැඩපිළිවෙළ නිසාම එදා සිට අද වන විටත් නොකඩවා වසර 25කට ආසන්න කාලයක් බස්නාහිර පළාත් සභාවේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සතුව පවතී. අනතුරුව 1994 වසරේ අගෝසතු 16 වැනි දින පැවති මහමැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන එක්සත් පෙරමුණ කණ්ඩායමේ නායිකාව ලෙස තරගකරමින් වාර්තාගත මනාප ඡන්ද ලක්‍ෂ 5ට ආසන්න ප්‍රමාණයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 105 ක් පොදු පෙරමුණට දිනා දුන්නාය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා කදුරට ජනතා පෙරමුණ ද සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බලයද දිනා දුන් එතුමිය ශ්‍රී ලංකාවේ දෙවන අගමැතිවරිය ලෙස ද වාර්තා පොත් අතරට එක් වුවාය. ඉන් මාස 03ක් ගතවන විට 1994 නොවැම්බර් 09 වන දින පැවති ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂිකාව වූ එතුමිය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 62.4% ක ප්‍රතිශතයක් ලබාගනිමින් සහ රටෙහි පැවති මැතිවරණ කොට්ඨාශ 162න් මහියංගනය මැතිවරණ කොට්ඨාශය හැර අනෙක් සියළුම මැතිවරණ කොට්ඨාශ ජයගනිමින් ලෝක වාර්තා අතරට ද එක්වුවාය. එදා එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දිනාදුන් රාජ්‍ය නායකත්වය වසර 25 ක් ගතවන තුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සතුව පැවතියා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පිළිබඳ කිවහැකි දේ තවත් බොහෝය. කෙසේ වෙතත් අවසන් වශයෙන් එතුමිය පිළිබඳව කිවයුතුම කරුණු කිහිපයක් මෙහි සඳහන් කළ යුතුමය. චන්ද්‍රිකා මැතිනියට දේශපාලනය නිසා ලැබුණු දේ ට වඩා එතුමිය විසින් රටට ලබාදුන් දේත් එතුමියට අහිමි වූ දේත් ඉතා වැඩිය. එතුමිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ රටට චන්ද්‍රිකා යුගයක් උදාකළාය. රටක දියුණුව සඳහා අධ්‍යාපනය පළමු සාධකය ලෙස සැලකූ එතුමිය බස්නාහිර මහ ඇමතිවරිය ලෙස සිටම රටේ අධ්‍යාපනය නගා සිටුවීමට කැප වූවාය. නව සියවසෙහි ප්‍රාග්ධනය යනු දැනුම බව ඇයගේ පිළිගැනීම විය. පාසල් වල භෞතික සම්පත් සංවර්ධනයේ පමණක් අධ්‍යාපනය නගාසිටුවීමට නොහැකි බව විශ්වාස කළ එතුමිය, “ගුරු සේවාව” බිහිකරමින් ගුරුවරයාට යහපත් සමාජ වතාවරණයක් ඇති කිරීමට කටයුතු කළාය. දේශයේ සියළු දරුවන්ට පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන නීති පැනවුවාය. ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය පිහිටුවමින් දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කළාය. චන්ද්‍රිකා යුගයක් යනු තාක්‍ෂණයේ ද දියුණුව සහිත යුගයක් බව සාක්ෂාත් කරගත් එතුමිය තාක්‍ෂණ කටයුතු පිළිබඳ වෙනම අමාත්‍යංශයක් ඇති කරමින් ඒ සඳහා සියලු පහසුකම් ඇති කළාය. රජරට, වයඹ, සබරගමුව, අග්නිදිග, ඌව වැනි විශ්වවිද්‍යාල අලුතින් පිහිටුවමින් තාක්‍ෂණික විෂය ධාරාවන් හැදෑරීමට දරුවන්ට අවස්ථාව ලබාදුන්නාය. අද ඕනෑම පාසල් දරුවකුට අන්තර් ජාලය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදීමේ පුරෝගාමියා වූයේ ද එතුමිය ය.

දේශපාලනය නිසා එතුමියගේ ආදරණීය පියතුමන් නිවස තුළදීම වෙඩිතබා ඝාතනය කෙරුණි. මවගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඇය දේශපාලනික වශයෙන් ඝාතනය කෙරුණි. ආදරණීය ස්වාමියා සිය ගෙමිදුල මැද ඔළුව කුඩුවෙන්නට වෙඩිතබා ඝාතනය කෙරුණි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එතුමියගේ එක් ඇසක් අහිමි විය. මරණයේ එළිපත්තටම ගිය එතුමිය ජනතාවගේ වාසනාවට යළි ජිවිතය ලැබුවාය. කිසිදිනෙක මහජන මුදල් අවභාවිත නොකළ එතුමිය පිළිබඳව “චෞර රැජින” නමින් පොතක් බිහි විය එහෙත් එතුමියට පෙර හා පසුව රජකම් කළ “සුර චෞරයින්” හෝ හොරුන්ගෙත් හොරු” පිළිබඳව පොතක් තබා පත්‍රිකාවක්වත් ප්‍රකාශයට පත් නොවිනි. සැබෑ පාක්‍ෂිකයින්ගේ විරෝධය නොතකා කිහිපදෙනෙකුගේ උවමනාව මත සිය උපන්දිනය දාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පදවියෙන් නෙරපනු ලැබුවාය. ජනාධිපතිවරණයට තම පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස නම් කළ පුද්ගලයාට ඔහු තිස් හත් වසරක් සංවිධායක ලෙස කටයුතු කළ මැතිවරණ බලප්‍රදේශයේ ලැබුණු ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් එතුමිය සංවිධායක ධුරය දැරූ අත්තනගල්ල ආසනයෙන් ලබාදී තිබියදීත් ඔහුගේ ජයග්‍රහණය වැළැක්වීමට කකුලෙන් ඇද්ද බවට චෝදනා ලැබුවාය. එහෙත් එතුමිය ඔහුගේ කකුලෙන් නොව අතක ඇඟිල්ලකින් වත් ඇද්දේ නම් ඔහු අන්ත පරාජයක් ලබන බව ඒ මැතිවරණ ප්‍රතිඵලයෙන්ම පැහැදිලිය. මේ සියළු අභියෝගයන්, කෙනෙහිලිකම්, අපහාස හා උපහාස හමුවේ රට හැර ගොස් විදේශයකට වී සිය ජිවිතයේ සැදෑ සමය ගත කිරීමට එතුමියට ඉතා හොඳින් හැකියාව ඇත. එහෙත් සිය මව් බිමත් එහි වෙසෙන ජනතාවත් තම දෙමව්පියන් සහ තමන් ආදරෙන් රැකබලාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් හැර දමා ගොස් ගතකරන ජිවිතයක් ගැන එතුමිය නොසිතයි. කිහිපදෙනෙකුගේ කරදර, බාධක, හිරිහැර දමා වුවත් මව් බිමේ ජනතාවට සැබෑ සාමයක් හා සංහිඳියාවක් උදාකරදීමට කැපවෙමින් සිය ආදරණිය පාක්‍ෂිකයින් සමඟ ජීවත්වීම එතුමියගේ ඒකායන පැතුමයි. මෙම ජුනි 29 දින සිය ජීවන මගේ 75 වන ජය කණුව පසුකරන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට නිදුක් නිරෝගීව තවත් දිගු කළක් මව් බිමට සේවය කිරීමට දිගාසිරි පතමි.

මනෝවිද්‍යා උපදේශක

මොන්ටේගු සරච්චන්ද්‍ර විසිනි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found