Language Switcher

V2025

කොළඹටත් බැරි “ඔන්ලයින් අධ්‍යාපනය” රටටම දීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොරෝනා සමග “ඔන්ලයින් අධ්‍යාපනය” දැන් පොදුවේ කවුරුත් පිළිගත් විකල්පය ලෙස රටටම බෙදා අවසන්ය. පළමු කොරෝනා රැල්ලෙන් පසු සියල්ල යථා තත්ත්වයට පත් වන්නේ යැයි ජුනි මාසයෙන් පසු පාසල් සුපුරුදු ලෙස නැවත විවෘත කිරීමට තිබූ උත්සාහය සැප්තැම්බරය අවසන් වනවිට දෙවන රැල්ලෙන් අවසන් විය. එතැන් සිට කොවිඞ්-19 හමුවේ “ඔන්ලයින් අධ්‍යාපනය” සමග සියල්ලන් නතරව ඇත.

ආණ්ඩුවේ ඒ “ඔන්ලයින් අධ්‍යාපන” තීන්දුවට එරෙහිව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පෙරටුව පැවැත්වූ විරෝධතාවක කෙටි වීඩියෝ පටයක් ෆේස්බුක්හි ඉකුත් දෙසැ.13 වන දින දහවල දුටිමි. පාසල් අධ්‍යාපනය මේ වනවිට බිඳ වැටී ඇති ආකාරය සමග දරුවන්ගේ අනගාතය ගැන බිමල් රත්නායක එහිදී කියූ කතාවෙන් මට මතක් වූයේ ඔවුන් 1988-90 කාලයේ මුදා හැරි ත්‍රස්තවාදය සමග “කොළඹට කිරි – ගමට කැකිරි” උද්ඝෝෂණ විසින් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමන්නට සිදුවූ හැටි ය. මෙය එවැනි අසික්කිත දේශපාලනයක් වෙනුවෙන් ළමුන්ගේ අනාගතය විනාශ කිරීමක් නොවේ. මෙය මුලු ලෝකයම මුහුණ දෙන තවමත් හරියාකාර විසඳුමක් නැති කොවිඞ්-19 ගෝලීය වසංගතයෙහි අභාග්‍ය සම්පන්න ප්‍රතිපලයකි.

කොවිඞ්-19 පැතිරීම සමග අධ්‍යාපනය හැකි උපරිමයෙන් පවත්වා ගැනීමට අලුතින් සැළසුම් කළ යුතු ය. ඒ සඳහා මාස ගණනාවක ගන්ධබ්බ කාලයක් තිබිණ. එවැනි සැළසුම් කිසිත් නොමැතිව ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ කොළඹ මැද පංතිකයින්ගේ “කෝකටත් තෛලය” වන ඔන්ලයින් ප්‍රවේශය ය. ආණ්ඩුව එහි වගකීම ගුරුවරුන්ට හා දෙමාපියන්ට ඉතිරිකර ඇත. මෙය ඇත්තටම කොවිඞ්-19 හේතුවෙන් සොයා ගත් උත්තරයක් නොවේ. යහපාලන ආණ්ඩු කාලයේ සිට කොළඹ මැදපංතිකයින් ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එය යෝජනා කෙරුවකි. එය කර තියා ගත් අධ්‍යාපන ලොක්කන් මේ කරන්නේ අනෙක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය “ටැබ්” කඳේ ගැසීමකි. හන්දියේ බුලත් කඩ කළමනාකාරිත්වයෙන් නගරයේ යෝධ වෙළඳසල් සඳහා යෝජනා ඉදිරිපත් කරන ආකාරයට ජ.වි.පෙ මේ “ඔන්ලයින් අධ්‍යාපනය” සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් කිසිවක “ඔන්ලයින් අධ්‍යාපන” අවුලට විසඳුම් නැත. එහෙත් “ඔන්ලයින් අධ්‍යාපනය” සමාජ අවධානයට යොමු කරන්නට මේ මොහොතේ ඔවුන්ගේ “විරෝධය” යොදා ගත හැකිය.

ජ.වි.පෙ ප්‍රධානියෙකු වන බිමල් රත්නායකට අනුව පාසලේ පංති කාමරයේදී ඉගැන්වීම් කෙරෙනවාද නැතිනම් වෙනත් ආකාරයකින් කෙරෙනවාද යන්න නිදහස් අධ්‍යාපනයට අදාළ නැත. ඒ කවරක් වූවත් නිදහස් අධ්‍යාපනය අහෝසි කළ නොහැක. සියලු පාසල් දරුවන්ට එබැවින් අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දිය යුතුය. දෙවැන්න වූයේ වඩා පහසු අවකාශයක් වන රූපවාහිනි මගින් සියලු ළමුන්ට පාසලේ කෙරෙන පාඩම් ඉගැන්වීමය. ඒ ගැන බිමල් කළ විස්තරය අසා සිටින විට සිතෙන්නේ ඒවා හෙට ආරම්භ කළ හැකියැයි කියා ය.

ඒ ගැන කතා කළහොත් විශේෂයෙන් ජාතික රූපවාහිනියේ අධ්‍යාපනික වැඩ සටහන් ආරම්භකර මේ වනවිට වසර 30 ක් හෝ ඊට වැඩිය. එහෙත් එදා පළමු වැඩසටහන සහ වර්තමානයේ වැඩසටහන් බැලුවහොත් ඒවායේ තාක්ෂණික හෝ ඉදිරිපත් කිරීමේ පිළිවෙතෙහි කිසිදු දියුණුවක් නැත. තවමත් කෙරෙන්නේ පංතියේ කලු ලෑල්ල වෙනුවට සුදු මැගී බෝඞ් එකක ගණන් හදමින් විස්තර ලියමින් පංතියේදී වාගේම දේශන පැවැත්වීම, කැමරාගත කර විකාශනය කිරීමය. රූපවාහිනි යනු දෘශ්‍ය මාධ්‍යයකි. රූපවාහිනියෙහි ඉගැන්වීමට පංතියේ කලු ලෑල්ල අමතක කර ඊට වෙනස් විෂයමාලා අලුතින් දෘශ්‍යකරණය කොට සකස් කළ යුතුය. එහි ගුරුවරයාගේ පැහැදිලි කිරීම් අවශ්‍යම විට අවම මට්ටමින් පමණක් තිබිය යුත්තකි. එවැනි රූපගත පාඩම් සකස් කිරීම ජාතික අධ්‍යාපනයෙහි පාඨමාලා හා විෂයමාලා අනුව සැමට පොදු අධ්‍යාපනික වැඩසටහන් විය යුතුය. එය ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීම ඇතිව රූපවාහිනි මාධ්‍ය භාවිතයෙහි විශේෂඥයෙකු (විශ්ව විද්‍යාලවල සන්නිවේදන පාඨමාලා සඳහා දේශන පවත්වන අය නොවේ) සහ පාසල්වල විෂය භාර ගුරුවර ගුරුවරියන් හවුල් කරගන්නා අධ්‍යාපන වැඩසටන් නිෂ්පාදන කණ්ඩායමක් මගින් කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුත්තේ එම වැඩසටහන් හැකි උපරිම නාලිකා ප්‍රමාණයකින් කාල සටහනකට අනුව විකාශනය කිරීම සඳහා මැදිහත්වීමට ය.

“ඔන්ලයින් ඉගැන්වීම” ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. එය ජ.වි.පෙ කියන පරිදි සියළුම පාසල් ළමුන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. ළමුන්ට උගන්වන ගුරුවර ගුරුවරියන් 2,40,000 ටද අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා නොදී ඔන්ලයින් ඉගැන්වීම් කළ නොහැක. ප්‍රශ්නය පටන් ගන්නේ එතැනින්ම නොවේ. ප්‍රශ්නය පටන් ගන්නේ මේ රටේ අන්තර්ජාල සංස්කෘතියක් (ෂඔ ක්‍මකඑමරු) කොළඹ නගරයේද නොමැතිවීමත් සමගින්ය. ටැබ් හෝ “සුපිරි දුරකතන” (ීප්රඑ චයදබැි) අත තිබුණාට අති බහුතරයක් ඒවා යොදා ගන්නේ කතා බහ කිරීමට අමතරව “සෙල්ෆි” ගැසීමටත් කෙටි පණිවුඩ හුවමාරුවටත් ෆේස්බුක්හි හැමකටම “ලයික්” කරන්නට හා “ෂෙයා” කරන්නටත් පමණි. මේ බොහෝ දෙනාට විද්‍යුත් තැපෑලක් යවා කතාකර කිව යුතුය. ඉන් පසුවද එය බැලෙන්නේ සුපිරි දුරකතනයෙන් නොවේ. කොයි වෙලාවක හෝ පරිගණකයක් ළඟට ගිය විටෙකය. ජනමාධ්‍යවේදීන් අතරත් තමන් අත ඇති “සුපිරි දුරකතනයෙන්”ගූගල් කර සොයා ගත හැකි තොරතුරු සඳහා මට ඒ දුරකතනයෙන්ම කතා කරන අය සිටිති.

එවැනි පසුගාමී නාගරික සමාජයක හා නගරයෙන් පිට සියයට 70 ට වැඩි ග්‍රාමීය සමාජයේ අන්තර්ජාලය, වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාල සහ සමූහ සන්නිවේදන වේදිකා වන වයිබ, වට්ස්ඇප්, ටෙලිග්‍රම්, සූම් වැනි මෙවලම් අතර ඇති සහසම්බන්ධය හා ඒවායේ උපයෝගිතා ගැන කිසිදු අදහසක් නැත. එබැවින් ඔවුන් අතර එවැනි මෙවලම් භාවිත කිරීමට උනන්දුවක් ඇත්තේද නැත. කොලඹ සැළකිය යුතු පිරිසක්ද ඒවා හරියාකාරව භාවිතා කිරීමට දන්නේ නැත. එවැනි පසුගාමිත්වයක ඔන්ලයින් අධ්‍යාපනය හඳුන්වාදීමේ හා එය දුරස්ථ අධ්‍යාපන විධික්‍රමයක් ලෙස යොදා ගැනීමේ අතිශය අසාධාරණ සමාජ පරතරයක් හා විෂමතාවක් ඇත. තවමත් බොහෝ විශ්වවිද්‍යාල ඇදුරන් හා ගුරුවරුන් සිතා සිටින්නේ ඔවුන් දේශනාගාරයේ හෝ පංතියේ හෝ කළ කතා පරිගණයක හෝ ටැබ් එකක කැමරාව ඉදිරියේ එලෙසින්ම කිරීම “ඔන්ලයින් ඉගැන්වීම්” කියා ය. ඔන්ලයින් ඉගැන්වීම් යනු එක ගොන්නකට පංති කාරමයකදී ඉගැන්වූ පාඩම, නිවෙස්වල විසිර ඉන්නා ළමුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම ය. කුඩා තිරයකට සීමා වී ඉගැන්වීමට පාඩම වෙනම සැළසුම්කර සංවිධානය කරගත යුතුය. ඒ සඳහා යොදා ගත හැකි වෙබ් වේදිකා මෙවලම් ගණනාවක්ම ඇත. එවැන්නක් තමන්ගේ පරිගණකයට, ටැබ් එකට හෝ සුපිරි දුරකතනයට බා ගත යුතුය. එසේ බා ගැනීමේදී තම භාවිතයට වඩාත් පහසු මෙවලම වන්නේ කුමක්දැයි සහ එය නිවෙස්වල විසිර සිටින ළමුන් හවුල්කර ගැනීමට කෙතරම් පහසු අවකාශයක් සහිත දැයි යන්න දැන සිටිය යුතුය. ඒ පිළිබඳව අති බහුතරයක් ගුරුවර ගුරුවරියන්ට, විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන නිලධාරීන්ට දැනුමක් නැත. එය ඔවුන්ගේ වරදක් නොවේ. මෙතෙක් එවැනි කාරණා පිළිබඳව කිසිම විශ්වවිද්‍යාලයකින් හෝ විද්‍යා පීඨයකින් ප්‍රමාණවත් දැනුවත් කිරීමක් හුරුවක්, පුහුණුවක් කිසිවකුට ලබාදී නැත.

ඔන්ලයින් ඉගැන්වීම ඒ වගේම ඉතා සියුම් දෘශ්‍ය මාධ්‍ය යොදා ගෙන කළ යුත්තකි. එබැවින් රූපවාහිනියට වඩා ප්‍රවේසමෙන් නිසල රූප, සජීවී රූප, පෝසටර ආදිය සමීප රූප ලෙස යොදාගෙන පාඩම් සංවිධානය කළ යුතුව ඇත. නිවසේ සිටින ළමුන් පාඩම සඳහා හසුරුවා ගැනීමටද ගුරුවරයා හෝ ගුරුවරිය සතු විශේෂ නිපුණතාවක් තිබිය යුතුය. පාඩම සංවිධානය කර ගැනීමේදී ළමුන් පාඩමෙහි හවුල්කරුවන් කර ගැනීමද ඔන්ලයින් ඉගැන්වීමේ අවශ්‍යතාවයකි. ඒ වගේම ළමුන්ට හා ගුරුවරුන්ට ඔන්ලයින් පාඩම් පාසලේදී මෙන් එක දිගට පැය 05 ක් තබා පැයක්වත් කළ නොහැක. එයද සැළකිල්ලට ගත යුත්තකි. තාක්ෂණික දැනුම සමග එවැනි සියලු කාරණා පිළිබඳව අවම දෙසතියක අලුත් පුහුණුවක් ගුරුවරුනට හා අධ්‍යාපන නිලධාරීන්ට ලබා නොදී ඔන්ලයින් අධ්‍යාපනයක් හරියාකාරව ආරම්භ කිරීමටවත් නොහැක.

ජ.වි.පෙ ඉල්ලා සිටින නොමිලේ අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ කතාව අදාල වන්නේ එවැනි අනෙක් සියළු සාධක සම්පූර්ණ වන විටය. සියල්ලන්ට “සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති නිදහස් අධ්‍යාපනයක් ගැන කතාව හමුවන්නේ එවිටය. දැනටත් “සියල්ලන්ට සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති පාසල් අධ්‍යාපනයක් නැත. ඒ ගැන කිසිවකුගේ අවධානයක්ද නොමැත. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජ.වි.පෙ ඉදිරිපත් කරන ඉල්ලීම් වලින් විසඳිය නොහැකි අතුරු විපාක ගණනාවක් දැනටත් නිර්මාණය වෙමින් ඇත.

දැනට පාසල් විවෘතකර ඇති පළාත් දෙකක ප්‍රධාන නගර දෙකක ලොකුම පාසල් කිහිපයේ ඔන්ලයින් ඉගැන්වීම් ගැන ඉකුත් සතියේ මා කළ විමසීම් හා විපරම් කිරීම් වලට අනුව, පාසලක දහය වසර සිසු සිසුවියන් 170 ක් 200 ක් අතුරින් පාසල් පැමිණ සිටි ළමුන්ද ඇතුළුව ඔන්ලයින් ඉගැන්වීම් වලට එකතුවී තිබුණේ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවකි. දළ වශයෙන් සියයට 25 ක් පමණය. එහි සරළ තේරුම එතරම් ජනප්‍රිය නොවන හා ග්‍රාමීය පාසල්වල සහභාගිත්වය ඊටත් වඩා අඩු බවය. ඔන්ලයින් පංතිවලට හවුල්වන මේ ළමුන් අතරින් අඩක් පමණ එසේ හවුල් වන්නේ එම පහසුකම් අඩුවක් නැතිව තිබෙන හෙයින් නොවේ. තම දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ හෝ පවත්වාගෙන යා යුතු යැයි කැප කිරීම් කරන දෙමාපියන් ප්‍රතිශතයක්ද ඉන්නා හෙයිනි.

ඒ අතර නාගරික දුප්පත් හා ග්‍රාමීය සමාජවල ඔන්ලයින් අධ්‍යාපනය ගැන කිසිදු අවබෝධයක් නැතුවාට අමතරව, ඒ වෙනුවෙන් අවශ්‍ය ටැබ් හා සුපිරි දුරකතන සඳහා වැය කරන්නට මුදල් නොමැති දෙමාපියන් විශාල ප්‍රතිශතයක් ඇත. එමෙන්ම එකම පවුලේ දරුවන් දෙදෙනකු වේ නම්, එක සුපිරි දුරකතනයකින් දෙදෙනාටම ඔන්ලයින් පංති වලට එකවර හවුල් විය නොහැකිය. එය අද අති බහුතරයක් දුප්පත් පවුල් මුහුණ දෙන හා ඔවුන්ට විසඳාගත නොහැකි ආරවුලකි.

ඒ වගේම, පහළ මැද පංතික පවුල් මුහුණ දෙන අනෙක් අර්බූදය වන්නේ ඔවුන් ඉතා අමාරුවෙන් ලබා දෙන අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ ඔවුන්ගේ නව යෞවන වයසේ දරුවන් අවභාවිතා කිරීමය. අන්තර්ජාලය යනු දැනුම වර්ධනයට මෙන්ම පාසල් වයසේ දරුවන්ට දඩාවතේ යාමටද නොයෙකුක් පෙළඹවීම් ඇති අවකාශයකි. නිල වශයෙන් කෙරෙන ඔන්ලයින් ඉගැන්වීම් සඳහා අමාරුවෙන් ඬේටා මිලට ගන්නා තාක්ෂණික දැනුමක් නොමැති දුප්පත් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් එම ඬේටා භාවිත කරන්නේ කුමටදැයි සොයා බලන්නට තරම් හැකියාවක් නැත. එබැවින් ඔන්ලයින් අධ්‍යාපනය සියල්ලන්ට අර්ථයක් ඇති ආකාරයෙන් සංවිධානය කිරීමට,

  1. රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් අලුතින් සැලසුම්කර නිෂ්පාදනය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට මාසයක උපරිම කාලයක් ලබාදී එය නියාමනය කිරීමටත්
  1. දුරස්ථ අධ්‍යාපනයෙහි රූපවාහිනි වැඩසටහන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමත් එම අධ්‍යාපනික වැඩසටහන් ඇගයීමේ පළාත්බද අධ්‍යාපන කමිටු පිහිටුවා මාසික ඇගයුම් වාර්තා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා ගෙන රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් වැඩි දියුණු කිරීමත්
  1. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ පරිපාලකයින්ටත් විදුහල්පතිවරුන්ටත් ගුරුවර ගුරුවරියන්ටත් ඔන්ලයින් අධ්‍යාපනය ගැන අවම දෙසතියක කඩිනම් පුහුණු වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් වැදගත් ලෙස සංවිධානය කර පැවැත්වීමටත්
  1. දැනට අධ්‍යාපන පීඨවල ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව අවම මාසයක විශේෂ පුහුණු වැඩසටහනක් ඔවුන්ගේ පුහුණුවට ඇතුළත් කිරීමටත්
  1. ඔන්ලයින් ඉගැන්වීම් සඳහා සුවිශේෂි ආරක්ෂණ සමගින් වන අන්තර්ජාල ප්‍රවේශයක් පාසල් සඳහා හඳුන්වා දීමටත්
  1. පවුලේ මාසික ආදායම රුපියල් 20,000 ට අඩු පවුල්වල පාසල් දරුවන්ට හා සියලු ගුරුවර ගුරුවරියන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණයක් නොමිලේ ලබා දීමටත්

නොපමාව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමගින් පියවර ගැනීමට ආණ්ඩුවට බලකර කිව යුතුය. එවැනි පියවර නොගන්නේ නම්, මේ වනවිට පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව ඉන්නා සියයට 50 ට වැඩි ළමුන් 2021 වසර ආරම්භයේදීම පාසල් අත හැර ගිය ළමුන් ලෙස සටහන්කර ගැනීමට සිදුවනු ඇත. එවගේම විශේෂයෙන් ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් සංඛ්‍යාව සියයට 40 ටද වඩා අඩු විය හැකිය. එනිසා කොවිඞ්-19 වසංගතයෙන් ආරක්ෂිතව මේ ළමුන්ගේ අධ්‍යාපනය සැළසුම්කර ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ලබන ජනවාරියට පෙර ආණ්ඩුව ජනතාවට පැහැදිලිකර කිව යුතුය. ළමුන්ගේ අධ්‍යාපනය හා අනාගතය ලබන 2021 වසරේදී ද මේ වසර මෙන් අපතේ හැරීමට නොහැකි හෙයිනි.

kusal p 1000pxකුසල් පෙරේරා

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found