Language Switcher

V2025

සුප්‍රීම් සැට්, රෝහිත රාජපක්ෂ සහ ඩොලර් අර්බුදය

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ආචාර්ය රෝහිත රාජපක්ෂගේ ‘සුප‍්‍රීම් සැට්’ රොකට්ටුව, ඩේසි ආච්චිගේ මැණික් මල්ල සේ ම ආගිය අතක් නැත. මැණික් මල්ල මුණුපුරාගේ හොරා කෑම වසාගන්නට පාවිච්චි කළ ගැලවිජ්ජාවක් වුවත්, රොකට්ටුව සමස්ත ජාතියම මුළා කළ සෙප්පඩ විජ්ජාවකි. එහි ණය- ඔබටත් මටත්, අප වළකජ්ජ ගැසූ පසු අපේ දරුවන්ටත් ගිනි පොළියත් සමග ගෙවන්නට සිදු වී තිබේ.

අය-වැය නාඩගම් සහ විගඩම් මේ දිනවල විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයේ අංක එකේ ප‍්‍රවෘත්ති බවට පත් කරගෙන තිබේ. කුට්ටිආරච්චි වැනි කක්කුසි කටවල් එක් ප‍්‍රවෘත්ති වර්ගයක් ය. ශ්‍රී ලංකා – පොහොට්ටු වලිය අනෙක් ප‍්‍රවෘත්ති වර්ගය ය. ඒ අතර කුමන පැත්තකින් හෝ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණුවලට හිමි වන්නේ අංශුමාත‍්‍ර ඉඩහසරක් ය.

කක්කුසි කටවල්වලින් හෝ ශ්‍රී ලංකා – පොහොට්ටු වලියෙන් හෝ වැසීමට යන්නේ රට ආර්ථික වශයෙන් පමණක් නොව හැම අතින් ම බිහිසුණු තත්වයක් තිබීමේ යථාර්ථයයි. ආර්ථිකය ඒ අතර අතිවිශේෂ ය. අද කවුරු කවුරුත් කතා කරන මෙම බිහිසුණු තත්වයට ඇදවැටීම පිළිබඳ එවකට තිබූ දත්ත මත ‘ලංකා’ කරුණු ඉදිරිපත් කළේ 2009 පමණ සිට ය. කවුරුන් හෝ දැන් විසැඳුම් සොයන්නේ නම් කළ යුත්තේ, ලෝක විනාශය ගැන කියමින්, එලෝ මෙලෝ නැතිව ගිය හාවාගේ කාර්යය කිරීම නොවේ. රෝග නිධානය හරියට ම තේරුම්ගෙන විසැඳුම් සෙවීම ය.

රොකට් විද්‍යාඥ රෝහිත රාජපක්‍ෂ

එම ඇත්ත අපේක්‍ෂාව තිබෙන අය අවම වශයෙන් මෙයින් දශකයක් ආපස්සට ගමන් කිරීම අවශ්‍ය ය. මේ රටේ රොකට් විද්‍යාඥ රෝහිත රාජපක්‍ෂගේ මෙහෙයැවීමෙන් ‘සුප්‍රීම් සැට්’ චන්ද්‍රිකාව ගුවන්ගත කළ බව කීවේ 2012 නොවැම්බර් 27 වැනිදා ය. ඊට හරියට ම මාසයකට පෙර එනම්, ඔක්තෝබර් මාසයේ දී තවත් සුවිශේෂී සිදුවීමක් විය. මෙරට ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබා ගත් ණය වාරිකයක් ආපසු ගෙවීමට සිදු වී තිබුණේ, 2012 ඔක්තෝබර් මාසයට ය.

කාටත් කල්පනා වන්නේ බැලූබැල්මට අන්ත දෙකක ක්‍රියාවක් බව ය. ජාත්‍යන්තර බැඳුම්කර ණය ආපසු ගෙවීම සහ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම වශයෙනි. වෙනස් බව පේන මේ ක්‍රියා දෙක එක ම මූලයකට ගමන් කරන ආකාරය ඉක්මනින් ඔබට පැහැදිලි වේවි. 2012 දෙසැම්බර් 08 වැනි දින ‘හැන්සාඩ්’ වාර්තාවේ වැදගත් ශීර්ෂ පාඨයක් තිබේ. ”ශ්‍රී ලංකාවේ ප‍්‍රථම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම: විදුලි සන්දේශ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යතුමාගේ ප‍්‍රකාශය” යනුවෙනි. එහි අවසාන ඡේදය මෙසේ ය:

රටේ අභිමානය

”මෙම සිද්ධිය රහසක්ව තබා ගැනීමට හෝ සැඟවීමට හෝ අවශ්‍ය කිසිදු කරුණක් නොමැත. සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පෞද්ගලික ආයතනයක් වුවත්, ඒ මඟින් කරනු ලබන කාර්යය ශ්‍රී ලංකාවේ ආයෝජන ශීඝ‍්‍රයෙන් ඉහළ දැමීමට ඉවහල් වන අතර, ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රය බවට පත් කිරීමට ඉමහත් රුකුලක් වේ. පෞද්ගලික සමාගමක් වුවත්, ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක් ලෙස මෙන් ම ජාතියක් ලෙස ද අපගේ ඉදිරි ගමනට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය වේගවත් කිරීමට ඉවහල් වන සුවිශේෂී කරුණක් ලෙස අප මේ දෙස බැලිය යුතු අතර, ඉන් ලොවට ලබා දෙන පණිවුඩය වන්නේ සෑම අංශයකින් ම අලුත් යමක් කිරීමට සහ ඒ සඳහා ඉදිරිපත් වීමට අපට ඇති සුවිශේෂී හැකියාව බව අප සුභවාදීව සිතිය යුතු ය.”

රොකට් ඩොලර් ණය

රෝහිත රාජපක්‍ෂ රොකට් විද්‍යාඥයාගේ පුරෝගාමී කටයුතු පිළිබඳව රටක සුභවාදී අපේක්‍ෂා දැල්වූයේ ඒ ආකාරයට ය. සියඹලාපිටිය ඇමැතිවරයා එදා කළ ප‍්‍රකාශයේ තවත් වැදගත් කොටසක් මෙලෙසිනි : ”සුප්‍රීම් සැට් පළමුවන සහ දෙවන අදියර සඳහා ඔවුන්ගේ මුළු ආයෝජනය වනුයේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.38කි. ආයෝජන මණ්ඩලය දක්වා ඇති පරිදි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉතිරි මුදල් විදේශ බැංකුවකින් ලබා ගන්නා ණය මුදලක් මඟින් සපයා ගනු ලැබේ.” වැදගත් වන්නේ මෙන්න මෙය ය. ශ්‍රී ලංකා රජයට අමතරව පෞද්ගලික අංශයට විදේශ ණය ලබා ගනී. රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා මෙසේ ලබා ගන්න විදේශ ණය ආපසු ගෙවිය යුතු වන්නේ රටක් ලෙස බව වටහා ගැනීම වැදගත් වේ.

ආශ්චර්යයේ ව්‍යාපෘති

දැන් අනෙක් කරුණ වෙත යොමු වෙමු. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කර ණය ගැන ය. 2012 ඔක්තෝබර් මාසයේ ඩොලර් 500ක ස්වෛරීත්ව බැඳුම්කර ණය මුදලක් ආපසු ගෙවා තිබේ. එය ලබාගෙන තිබෙන්නේ, 2007දී ය. ලංකා ඉතිහාසයේ විදේශීය වාණිජ ණය ලබා ගත් පළමු අවස්ථාව ය. එය ලබාගෙන තිබෙන්නේ 2012 ඔක්තෝබර් 24 වැනිදා ය. පොලිය සියයට 8.25ක් වන අතර, 2012 ඔක්තෝබර් 23 වැනිදාට කල්පිරේ. මෙය ආපසු ගෙවීමට අදාළව ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දී තිබේ.

එදා මුදල් ඇමැති, මහින්ද රාජපක්‍ෂ ය. එදත් මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් ය. ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී උත්තර දී තිබුණේ, නියෝජ්‍ය මුදල් ඇමැතිවරයකු වූ ආචාර්ය සරත් අමුණුගම ය. 2012 නොවැම්බර් 17 වැනිදා ‘හැන්සාඩ්’ වාර්තාවෙන් උපුටා ගන්නා ලද පහත සඳහන් ඡේද දෙක ඉතා පරිස්සමින් කියවා ගන්න.

හිල් මැකීම

”2007 වසර සඳහා වන අය-වැයේ සඳහන් ප‍්‍රාග්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කෙරෙන දේශීය අරමුදල් විදේශීය ආයෝජන මාර්ගයෙන් සපයා ගැනීම සඳහා මෙම බැඳුම්කරය නිකුත් කරන ලදි. විශාල ප‍්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් හි ණය ප‍්‍රදානකරුවන් අදාළ මුළු ව්‍යාපෘති වටිනාකමින් මූල්‍යයනය කරනු ලබන්නේ 70%කට ආසන්න ප‍්‍රමාණයකි. එවැනි අවස්ථාවල ඉතිරි 30% දේශීය ප‍්‍රභවයක් මඟින් මූල්‍යයනය කිරීමට සිදු වේ.”

මෙම පළමු උපුටා ගැනීම තුළ සරලව ලිහා ගත යුතු කරුණු කීපයක් තිබේ. ”දේශීය අරමුදල් විදේශීය ආයෝජන මාර්ගයෙන් සපයා ගැනීම සඳහා බැඳුම්කර නිකුත් කරන ලදි” යන්න පළමුවැන්න ය. මෙහි දේශීය අරමුදල් යනු යම් ව්‍යාපෘතියක් වෙනුවෙන් රජය ලබා දිය යුතු කොටස ය. අප ගෙයක් හැදීමට ණයක් ගන්නේ නම්, මුළු ණය මුදල ම බැංකුවෙන් නොලැබෙන අතර, මුළු වියදමෙන් කිසියම් කොටසක් අප විසින් යොදවනු ලැබීම සාමාන්‍ය දෙයකි. අප දැරිය යුතු මුදල රත්තරන් භාණ්ඩ උකසට තියා හෝ කෙනකුගෙන් අතමාරුවක් ගෙන හෝ ඉතිරි කර ගත් දෙයකින් හෝ සොයා ගනී. මෙය ද එසේ ම ය. එදා පැවැති රාජපක්‍ෂ ආණ්ඩුව කර තිබෙන්නේ (ඊට පසුව අදත්) රජයේ කොටස යෙදැවීම සඳහා විදේශවලින් වාණිජ ණය ගැනීම ය. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර විකිණීමෙන් ය.

අදාළ මහා පරිමාණ ව්‍යාපෘතිවලට විදේශීය ණය ලබා දීම 70%ක් බව සහ ඉතිරි 30% රජය විසින් සොයා ගත යුතු බව මෙයින් කියැවේ. මහින්ද රාජපක්‍ෂ සහ අජිත් නිවාඩ් කබ්රාල් කර තිබෙන්නේ රජයේ මෙම කොටස ලබා දීම සඳහා මෙරට ඉතිහාසයේ ප‍්‍රථම වරට ඩොලර් මිලියන 500ක විදේශ වාණිජ ණය ගැනීම ය. ‘හැන්සාඩ්’ වාර්තාවේ දෙවැනි උපුටා ගැනීම කියැවීම සඳහා මෙම කරුණු හොඳින් මතක තබා ගැනීම අවශ්‍ය ය.

සුදු අලි සහ විකිණීම

”ඒ අනුව වර්ෂය තුළ සිදු කළ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල එනම්, හම්බන්තොට වරාය, පුත්තලම ගල්අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, ජාතික මහාමාර්ග, වලවේ වම් ඉවුරු වාරිමාර්ග ව්‍යාපෘතිය, මොරගහකන්ද, වෙහෙරගල සහ අනෙකුත් වාරි මාර්ග ව්‍යාපෘතිවල දේශීය මූල්‍යයන සඳහා 2007 ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා දේශීය බැංකු මඟින් ලබා ගන්නා ලද මූල්‍ය පහසුකම් පියැවීමට මෙම බැඳුම්කරය මඟින් ලබා ගන්නා ලද මුදලින් වැඩි කොටසක් යොදවා ඇත.”

පෙර දී සඳහන් කර තිබෙන ”දේශීය මුදල් විදේශීය ආයෝජන මාර්ගයෙන් සපයා ගැනීම” යන්න සිදු කර තිබෙන්නේ, දෙවැනි පියවරේ දී ය. එනම්, අර කියූ 30%ක කොටස දේශීය බැංකුවලින් ලබාගෙන තිබේ. එසේ දේශීය බැංකුවලින් ලබා ගන්නා ලද ණය ගෙවීම සඳහා විදේශීය වාණිජ ණය ලබාගෙන තිබේ. අන්තිමට විදේශ ණය වෙනුවෙන් හිලව්වට හම්බන්තොට වරාය විකුණා දැමීම කර තිබේ. වෙනසකට තිබෙන්නේ, දේශීය බැංකුවලින් ණය ගැනීම, විදේශීය වාණිජ ණය ගැනීම මහින්ද – කබ්රාල් හවුල සිදු කිරීම සහ හම්බන්තොට වරාය විකිණීම රනිල් – මෛත්‍රී හවුල සිදු කිරීම පමණ ය. ඊට අමතරව ඉහත නම් කර තිබෙන මහා පරිමාණ ව්‍යාපෘති කීයක් අද ජනතාව මත විසල් ණය කන්දක් පැටවීමට හේතු වී තිබේ දැයි ඔබ ම කල්පනා කර බලන්න. කීයක් යම් හෝ ඵලදායී වී තිබේ දැයි බලන්න. කීයක් විකිණීමේ පෝලිමට තැබීමට සූදානම් කරන්නේ දැයි විමසිලිමත් වන්න.

ඉලක්කම් සෙල්ලම

මේ දක්වා කතා කළ කරුණු හොඳින් පැහැදිලි කර ගන්න. ඉලක්කම් හරඹයකට යා යුතුව තිබේ. එදා 2007 ඔක්තෝබර් 24 වැනිදා ගිනි පොළියට ලබා ගත්තේ ඩොලර් මිලියන 500කි. එදා පැවැති විනිමය අනුපාතය ඩොලරයට රුපියල් 109.00 (108.72)ක් ය. මේ අනුව අප ලබාගෙන තිබෙණ ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 5,620ක් බව සඳහන් ය. නමුත්, වසර පහකට පසු ණය ආපසු ගෙවීමේ දී ඩොලරයකට රුපියල් 127.16ක් වී ඇත. රුපියල කඩාවැටීම රුපියල් 18.16ක් පමණ ය. මේ නිසා ම ණය ආපසු ගෙවීමේ දී ඩොලර් 500 සඳහා රුපියල් කෝටි 6,400ක් ගෙවීමට සිදු වී තිබේ. ගත් ණය මුදලට අමතරව රුපියල් කෝටි 800ක් අමතරව ගෙවීමට සිදු වී තිබේ.

තවත් ලෙසකින් කියන්නේ නම්, අපි බැංකු ණය ලෙස රුපියල් ලක්‍ෂයක් ගත්තේ නම්, වාරික වශයෙන් ආපසු ගෙවන්නේ ද රුපියල් ලක්‍ෂයක් ම ය. එයට ගෙවන පොලිය වෙන ම ය. එහෙත්, විදේශ ණය ගැනීමේ දී සිදු වන්නේ ගෙවිය යුතු ණය වෙනුවෙන් යෙදැවිය යුතු රුපියල් ප‍්‍රමාණය ද ඉහළ යෑමයි. රුපියල් කෝටි 5,620ක් ලබාගෙන රුපියල් කෝටි 6,400ක් ගෙවීමට සිදු වී ඇත්තේ, මේ අනුව ය. ඩොලර් 500ට සියයට 8.25 බැගින් පොළිය ලෙස රුපියල් කෝටි 2,300ක් ගෙවීමට සිදු වී තිබේ. දැන් ඩොලර් 500 ගෙවීම වෙනුවෙන් වෙන් කළ යුතු මුදල් ප‍්‍රමාණය කෝටි 6,400ක් සහ පොලිය රුපියල් කෝටි 2,300ක් ය. ඒ අනුව ගෙවිය යුතු මුළු මුදල රුපියල් කෝටි 8,700ක් වේ. ණය උගුල නිර්මාණය වන්නේ මේ ලෙස ය. එහෙත්, ඊට අලගු තැබීමට තරම්වත් රටට වත්කම් උපයන්නේ නැත.

ඉලක්කම් හරඹයට එහා

ආචාර්ය සරත් අමුණුගම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දත්තවල බරපතළ ප‍්‍රශ්න තිබේ. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විමසූ විට පිළිතුරු ලබා දීම සඳහා සති දෙකක කාලයක් ලබාගෙන ඇත. සංඛ්‍යා දත්තවල ප‍්‍රශ්න තිබෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් ‘මහා ආර්ථික ප‍්‍රඥයා’ යටතේ බව අමතක නොකළ යුතු ය. දැන් ආර්ථිකය ගලවා ගැනීමේ විශ්වකර්මයා වී සිටින්නේ ද ඔහු ම ය. ඔහු ලබා දුන් දත්ත ඉදිරිපත් කිරීමට ගොස් අලි අමාරුවක වැටී ඇත්තේ, ආචාර්ය සරත් අමුණුගම ය.

ඔහු ලබා දී තිබෙන පිළිතුරෙන් තවත් කරුණක් හෙළි වේ. ‘හැන්සාඩ්’ වාර්තාවේ මතු උපුටා ගන්නා ඡේය කියවන්න: ”ශ්‍රී‍ර ලංකාව මධ්‍යම ආදායම් ලබන තත්වයට ළඟා වීමත් සමඟ සහනදායී ණය ලබා ගැනීමට සුදුසුකම් නොලබන තත්ත්වයක් තුළ මෙම ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කර නිකුත් කිරීම තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප‍්‍රවිෂ්ට වීමට හැකියාව ලැබී ඇත. එමෙන් ම ව්‍යාපෘති සහ සෘජුව බැඳුණු ණය ප‍්‍රදානකරුවන්ගේ කොන්දේසිවලින් තොරව ප‍්‍රමුඛතා පදනම මත ප‍්‍රධාන ප‍්‍රාග්ධන ව්‍යාපෘති සඳහා මෙම ණය මුදල් යෙදැවීමට ද හැකියාව ලැබිණි.”

කොහොම ද සංවර්ධනේ ?

මෙහි විශේෂ කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. අප මධ්‍යම ආදායම් ලබන තත්ත්වයට ළඟා වූ බව කීම එකකි. පසුකාලීනව හෙළි වූ පරිදි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට නියෝග කර ඉහළ ආර්ථික වර්ධනයක දත්ත සැපයීම තවෙකකි. මේ කියන මහා පරිමාණ ඉදිකිරීම් නිසා දළ ජාතික නිෂ්පාදිතයේ ඉදිකිරීම්වල බුබුළක් මතු විය. ආර්ථිකයට ඵලදායී නොවන සුදු අලි නඩත්තු කිරීමට සිදු විය. මේ ලෙස බුබුළක් ඇති කිරීම නිසා සහනදායී ණය ගැනීමේ හැකියාව අහිමි වී ගොස් තිබේ.

මෙයටත් වඩා විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ, ”ව්‍යාපෘති හා සෘජුව බැඳුණු ණය ප‍්‍රදානකරුවන්ගේ කොන්දේසිවලින් තොරව” යන්න කෙරෙහි ය. මෙය හරියට ම ලිහා ගත යුතු ය. අපි නිවසක් ඉදි කිරීමට බැංකු ණයක් ගන්නේ නම්, අදාළ ණය අපට ලැබෙන්නේ කොටස් වශයෙන් ය. බැංකු නිලධාරීන්ගේ අධීක්‍ෂණයට ද යටත්ව ය. එහෙත්, පොලී මුදලාලිගෙන් ණය ගැනීමේ දී එවැනි කිසිදු සොයාබැලීමක් හෝ අන් කොන්දේසි නොමැත. ඇත්තේ ණය සහ ගිනි පොලිය ගෙවීම පමණක් ය. ”ණය ප‍්‍රදානකරුවන්ගේ ණය කොන්දේසිවලින් තොරව” යනුවෙන් කියන්නේ, මේ කතාව ය. හම්බන්තොට වරාය චීන සමාගමට විකුණන්නට සිදු වූයේ ඒ අනුව ය.

රෝහිතගේ හීනයට වන්දි ගෙවීම

රෝහිත රාජපක්‍ෂ රොකට් විද්‍යාඥයාගේ සුප්‍රීම් සැට් හීනයට විදේශීය ඩොලර් ණය ලබා ගත්තේ ය. ‘ආසියාවේ ආශ්චර්යය’ කරා රට ගෙන යන බව කී කතාවට ද විදේශීය ඩොලර් ණය ලබා ගත්තේ ය. දැන් මේ දෙක ම එකට එකතු වී රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට පවා ඩොලර් නැති තත්වයක් නිර්මාණය වූ බව අමුතුවෙන් පැහැදිලි කිරීමට ද අනවශ්‍ය ය. බලයේ සිටින පාලකයන් විදේශ ණය ගත්ත ද, ඔවුන්ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව පෞද්ගලික අංශයෙන් විදේශ ණය ගත්ත ද දැන් රටක් ලෙස හිර වී සිටින්නේ මේ ණය උගුල්වල ය.

එදා ආඩම්බරකාර තාත්තා ආසියාවේ ආශ්චර්යය කරා රට ගෙන යන බව කියා ආරම්භය ගත්තේ විදේශ ගිනි පොලී ණය කන්දක් ගැනීමෙන් ය. ඉන් පසු රනිල් – මෛත්‍රී – සජිත් හවුල් ආණ්ඩුව අනාගත පරපුරට ණය බර ඉතිරි නොකරන බව කියා කළේ ද ඒ දෙය ම ය. ලස්සන වචනවලට මුවා වී උන් කළ පිස්සු කෙළීම්, ගහපු ගැහිලි අද ගිනිදැල් වෙමින් තිබෙන්නේ ඔබත්, මමත් හමුවේ නොවේ ද? මොළ හතේ මුදල් ඇමැති සහ ආර්ථික ප‍්‍රාඥ මහ බැංකු අධිපති මූලික වී අප හෙළීමට යන ප‍්‍රපාතයේ බියකරු බව කෙතරම් ද? ඉතින්, අපි කුමක් කරමු ද?

ඉන්ද්‍රසිරි ජයසුන්දර – ලංකා